වසර හතක්‌ තුළ මිලියන ගණනක්‌ ඉන්දියානුවෝ බෞද්ධාගම වැළඳගනිති

වසර හතක්‌ තුළ
මිලියන ගණනක්‌ ඉන්දියානුවෝ බෞද්ධාගම වැළඳගනිති

භාරතීය ඉතිහාසය තුළ සිදුවූ වඩාත් ප්‍රබලතම එසේම ආන්දෝලනාත්මක විප්ලවය ලෙස හැඳින්විය හැකි 1956 ආගමික පරිවර්තනය, එනම් හින්දුන් ලක්‌ෂ සංඛ්‍යාත වශයෙන් බුදුසමය වැළඳගැනීම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා සිය කෘතීන් තුළ ගේල් ඕම්වේද් මෙන්ම ඩී. එල්. රාම්තේකී ද වැඩි ඉඩකඩක්‌ වෙන් කරන අතර එම විවරණයන් සඳහා භාවිත කරන ඇසින් දුටු, සාක්‌ෂිකරුවන් දෙදෙනෙකුගේ මූලාශ්‍ර මෙහිදී හඳුන්වාදීම වැදගත්ය. ඉන් පළමුවැන්න ඉංග්‍රිසි ජාතික භික්‌ෂුන් වහන්සේ නමක වු සංඝරක්‌ත, හිමියන් හා උන්වහන්සේගේ සටහන්ය. උන් වහන්සේ බටහිර බෞද්ධ ප්‍රජාවගේ මිතුරෝ සංවිධානයේ පුරෝගාමියා වූ අතර ආගම් පරිවර්තන ක්‍රියාවලියෙහි හා භාරතයේත් ඉන් පිටතත් බුදු දහම ව්‍යාප්ත කිරීමේ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ මෙහෙවරෙහි විශාල වගකීම් කොටසක්‌ ඉටුකළ අයෙකු විය. දෙවැන්නා නාග්පූර්හි දලිත් රාජ්‍ය සේවකයෙකු වූ වසන්ත් මූන්ය. ඔහු පසුව ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ලිපි ලේඛන වල සංස්‌කාරකවරයා ලෙස කටයුතු කළේය. එසේම ඔහු සමථ සයිනික්‌ දාල්, (සමානාත්මතා බලකාය) හි ද ක්‍රියාකාරිකයෙකුද විය. සංඝරක්‌ත හිමියන්ගේ විග්‍රහය කියවද්දී ලක්‌ෂයකට අධික පිරිසක්‌, මේ සමාජ ක්‍රමය විසින් තමන් මත පටවා තිබූ පීඩාකාරී සංස්‌කෘතික නීතිරීති වලින් අත්මිදීමේදී දැකගත හැකි අසිරිමත් බව කෙතරම් පුදුම සහගතව අත්වින්දේද යන්න පැහැදිලිවේ. වසන්ත් මූන් ස්‌වකීය චරිතාපදානය (එය ආරම්භයේදී වාස්‌ති, ලෙස පමණක්‌ නම් කර තිබූ අතර පසුව භාරතයේ දලිත්වරුන්ගේ නැග ඒම, ලෙස ඉංග්‍රිසියට පරිවර්තනය කෙරිනි) හුදුදින සටහන්, එකතුවකට පමණක්‌ සීමා නොවන්නේ එය සමස්‌ථ ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්‌වාම, එනම් ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අභාවය දක්‌වාම ඉතා හැඟුම්බරව විස්‌තර කරන බැවිණි. මෙහි මතු සවිස්‌තරාත්මකව දැක්‌වෙන පරිදි ආගමික පරිවර්තනය සිදුවූ දික්‌ෂා භූමිය, පිළියෙල කිරීම එහි පැමිණි ලක්‌ෂ සංඛ්‍යාත දලිත්වරුන් හා අනෙකුත් පීඩිත හින්දුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් සංවිධාන කටයුතු කිරීම පමණක්‌ නොව, ඒ ආසන්න වකවානුවේදී තවමත් විවිධ ආගමික සංස්‌කෘතික බැඳීම් මත බ්‍රාහ්මනික වතාවත් වල නියෑලුනු තම ප්‍රජාවන්ගේ සාමාජිකයින් විටෙක බලහත්කාරයෙන් හෝ ඒවායින් ඈත් කිරීමට ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අනුගාමික තරුණ පිරිස්‌ කටයුතු කළ ආකාරයත්, මහාබෝධි සමාගමෙන් පැමිණ සිටි බෞද්ධ විද්aවත් ප්‍රජාව සමග සහයෝගය පවත්වාගත් ආකාරයත් මූන් ඉතා කදිමට විස්‌තර කරයි.

මින් පෙර අප සාකච්ඡා කළ පරිදි 1930 දශකය මැද භාගය වනවිට ආචාර්ය අම්බෙඩ්කාර් ආගමික පරිවර්තනය අදහසින් මදකට ඈත්වූ බව සැබෑවකි. එහෙත් සමකාලීනව තමා නියෑලූනු දේශපාලන ක්‍රියාකාරිත්වය දිනෙන් දිනම ඔහුට පසක්‌ කරදුන් සත්‍යයක්‌ විය. එනම්, ස්‌වකීය පීඩිත ජනතාව සඳහා එකම තිරසාර විමුක්‌ති මාර්ගය බුදුසමය තුළ පමණක්‌ ම ස්‌ථාපනය වී තිබෙන බවය. එහෙත් එම දේශපාලනික සවිබල ගැන්වීම් අපතේ නොගිය බව ගේල් ඕම්වේද් පෙන්වා දෙන්නේ, වසන්ත් මූන්ගේ වාර්තා උපුටා දක්‌වමින්, 1940 දශකය තුළ මහාර්-හින්දු කැරළි උදාහරණ කොට ගනිමිනි. 1950 වසරේ ශ්‍රී ලංකා සංචාරය නිමවා බොම්බායට පැමිණෙන ආචාර්ය අම්බෙඩ්කාර්, රාජකීය ආසියාතික සමිතියේ බොම්බායේ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන රැස්‌වීමක දී ඔහු -අවස්‌ථාවාදියෙකියි, බ්‍රාහ්මණික ප්‍රතිවාදීන් විසින් කර තිබූ චෝදනාව ප්‍රතික්‌ෂේප කරමින් හෙතෙම කියා සිටියේ බුදුදහම පිළිබඳ තමා තුළ ඇති ඇල්ම අද ඊයේ ඇති වූවක්‌ නොව, එය තම ළමා විය දක්‌වාම දිවයන බවයි. එම රැස්‌වීමේ දී ම ආචාර්ය ඩබ්ලිව්.එම්. කයිකිනී විසින් ප්‍රකාශ කරන ලද්දේ නූතන හින්දු සමය අන් කිසිවක්‌ නොව, මහායාන බුදුසමයේ ම අනු ශාඛාවක්‌ බවයි. එම ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ 1950 පමණ සිට වඩාත් රැඩිකල් ස්‌වභාවයකින් කුළුගැන්වුනු දලිත් විමුක්‌ති ව්‍යාපාරය 1956 දී ආගම් පරිවර්තනය සිදුවන තෙක්‌ සාම්ප්‍රදායික මෙන් ම නූතන බ්‍රාහ්මණික හින්දු ආගම පිළිබඳ ආචාර්ය අම්බෙඩ්කාර් ප්‍රමුඛ විමුක්‌තිකාමීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ විග්‍රහ හා විවේචනවල ආකෘතියට එය ප්‍රබලව බලපෑ බැවිනි.

1950 වසරේ සැප්තැම්බර් මස විසිනව වැනි දින වෙරෝලිහි බෞද්ධ විහාරස්‌ථානයේ පැවැත්වූ දේශනයක දී, පීඩිතයන් තම පීඩාකාරි ජීවිතවලින් අත්මිදීමට නම් ඉඳුරාම බුදුසමය වැළඳගත යුතු බව ආචාර්ය අම්බෙඩ්කාර් අවධාරණය කළේ ය. මුස්‌ලිම් ආක්‍රමණවලින් බෞද්ධාගමට සිදුවූ හානිය පිළිබඳ ව තදබල ලෙස මත පළ කළ ඔහු බුදුසමයේ පුනරුදය හා ව්‍යාප්තිය සඳහා තම ජීවිතය කැප කරන බවට පුන පුනා ප්‍රතිඥා දුන්නේ ය. ආගමික වශයෙන් කවර ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ ද, 1950 වර්ෂයේ දී ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ”හින්දු නීතිය” පනත සම්පාදනය කිරීමෙහි ලා පුරෝගාමීව කටයුතු කළ ආචාර්ය අම්බෙඩ්කාර්, බුදුන් වහන්සේ, ජෛන මහාවීර පමණක්‌ නොව, සික්‌ ආගමේ ශාස්‌තෘවරුන් දස දෙනා පවා ආධ්‍යාත්මික විමුක්‌ති මාර්ග දේශනා කළ ද, කිසිවිටෙකත් භාරතයේ පොදු නීතිය හා ගැටෙන්නට උත්සාහ නොකළ බව පෙන්වා දුන්නේ ය. 1950 න් පසුව, මහාබෝධි ස`ගරාවට ලැබුණු ආචාර්ය අම්බෙඩ්කාර්ගේ බුද්ධිමය දායකත්වය වෙසෙසින් ම ඉහළ යන්නට විය. මෙහි විශේෂත්වය වූයේ, සිය ලිපි මගින් ඔහු ඉදිරිපත් කළ තර්ක හා ප්‍රස්‌තූථ මුළුමනින් ම බෞද්ධ පදනමක පිහිටා නිර්මාණය වී තිබීමයි. උදාහරණ වශයෙන් ”හින්දු කාන්තාවගේ අභිවෘද්ධිය හා පරිහානිය” යන මැයෙන් ආචාර්ය අම්බෙඩ්කාර් සැපයූ ලිපියට, පිළිතුරු ලිපියක්‌ වෙනත් ප්‍රකාශනයක පළ වී තිබුණේ, භාරතීය කාන්තාවගේ පරිහානියට වගකිව යුත්තා බුදුන් වහන්සේ ලෙස හුවා දක්‌වමිනි. එම ලිපියට ඉතා ව්‍යක්‌ත ලෙස පිළිතුරු සැපයූ ආචාර්ය අම්බෙඩ්කාර්, එහි වූ තර්ක ඉතා පහසුවෙන් සුනු විසුනු කර දැමුවේ බුදුන් වහන්සේගේ දර්ශනය හා භාවිතාව ඇසුරෙන් ඇති පමණ උදාහරණ ගෙන දක්‌වමිනි. 1951 වසරේ මැයි මස සම්බුද්ධත්ව ජයන්ති (වෙසක්‌) දිනයේ දී නවදිල්ලි නුවරදී ප්‍රංශ තානාපතිවරයා හා සෙසු තානාපතිවරුන් අභිමුවෙහි දේශනයක්‌ කළ ආචාර්ය අම්බෙඩ්කාර්, රාමක්‍රිෂ්ණ ජයන්තියට බොහෝ දෙනා එක්‌රැස්‌වන නමුදු, සම්බුද්ධ ජයන්තියට මිනිසුන් සියයක්‌ හමාරක්‌ එක්‌රැස්‌ කර ගැනීම පවා අසීරු කාර්යයක්‌ බව ප්‍රකාශ කළේ ය. රාමායනය හා මහාභාරතය, අමානුෂිකත්වය හා දූෂණය පිළිබඳව හා ඒ මත නිර්මාණය වූ කතා පුවත් යුගලයක්‌ බව කී ඔහු, දෙදහස්‌ පන්සිය වන සම්බුද්ධත්ව ජයන්තිය අතිදැවැන්ත උත්සවයක ආකාරයෙන් සැමරීමට කටයුතු සලස්‌වන බවට ප්‍රතිඥා දුන්නේ ය. පුද්ගල සුභසාධනය සඳහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කැපවූ ආගමක්‌ වන බුදුසමයේ අනුගාමිකයන් වීම ස්‌වඅභිමානයට හේතුවක්‌ බව ද ආචාර්ය අම්බෙඩ්කාර් රැස්‌ව සිටි පිරිස අමතා කීවේ ය.

1953 වසරේ පෙබරවාරි මාසයේ දී, ඉන්දීය ජපන් සංස්‌කෘතික සංගමයේ රැස්‌වීමක්‌ නවදිල්ලියේදී ම ඇමතූ ආචාර්ය අම්බෙඩ්කාර්, අනාගත පරම්පරාවට බෞද්ධ දර්ශනය හෝ මාක්‌ස්‌වාදය යන විකල්පයන් දෙකෙන් එකක්‌ තෝරා ගැනීමට අනිවාර්යයෙන් ම සිදුවන බව කීවේ ය. එහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඔහු යම් හෙයකින් අනාගත පරපුර බුදුදහම තෝරාගැනීම ප්‍රතික්‌ෂේප කළහොත්, යුරෝපයේ නිර්මාණය වූ ගැටුම් ආසියාවේදී ද එපරිද්දෙන් ම ජනනය වේ යෑයි ප්‍රකාශ කළ බව නිදහස්‌ මාධ්‍ය ස`ගරාවේ 1953 පෙබරවාරි කලාපයේ සඳහන් වේ. 1953 වසරේ වෙසක්‌ පොහොය (සම්බුද්ධත්ව ජයන්තිය) සැමරෙනු ලැබූයේ බොම්බායේ ‘zෙµdර් පාක්‌” හි දී ය. ඊට අනුග්‍රහය, එහි පිහිටුවා තිබූ ”බුද්ධ ධර්ම ප්‍රචාර සමිති” විසින් ලබාදෙනු ලැබිණි. එහි රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත පුරවැසියන් ඇමතූ ආචාර්ය අම්බෙඩ්කාර්, හින්දූන් බුදුසමයට බිය නමුදු, බුදුසමය ලොව පුරා ඉඳුරාම ව්‍යාප්ත වන බව ප්‍රකාශ කළේ ය. එය ඉන්දියාවේ කෙසේ ව්‍යාප්ත වේයෑයි කිව නොහැකි නමුත්, තම ජීවිතය පුදුසමයේ චිරස්‌ථිතිය උදෙසා කැප කරන බව යළිත් ප්‍රතිඥා දුන්නේ ය. බුදුසමය භාරතයේ පමණක්‌ නොව, ලොව පුරාම සිටින පීඩිතයන් සඳහා අත්‍යාවශ්‍යම විකල්පය බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ”බෞද්ධ බයිබලයකට” සමාන ග්‍රන්ථයක්‌ තමා සම්පාදනය කරන්නේ යෑයි කී ආචාර්ය අම්බෙඩ්කාර්, බුදුසමයේ උන්නතිය උදෙසා දිවුරුම් දී කැප වෙමුයි යෝජනා කළේ ය.

1954 වසරේ දී රැන්ගුන්හි පැවැත්වුණු ලෝක බෞද්ධ සම්මේලනය ආචාර්ය අම්බෙඩ්කාර් හට විශේෂ දේශනයක්‌ සඳහා ආරාධනා කළ අතර, සම්මේලනය ඇමතූ ඔහු මේ වන විට බෞද්ධ නොවන රටක්‌ නියෝජනය කරන නමුදු, අතීතයේ දී මනුෂත්වය සඳහා ම`ග පෙන්වන ලද බුදුසමය එහි මනාව ස්‌ථාපනය වී තිබූ බව පවසා සිටියේ ය. හත්ලක්‌ෂයක්‌ පමණ වූ තම අනුගාමිකයන්ට බුදුදහම මනා ලෙස තමා විසින් උගන්වන ලද බව කී ආචාර්ය අම්බෙඩ්කාර්, භාරතය කාලාන්තරයක්‌ තිස්‌සේ බ්‍රාහ්මණික ඒකාධිපතිත්වයට යටත්ව ඇති බව කී අතර, බෞද්ධ දර්ශනය පිළිබඳව තමා සම`ග විවාදයකට එන්නැයි බ්‍රාහ්මණිකයන්ට අභියෝග කරන බව ද කීවේ ය. ලොවපුරා බුදුසමය ව්‍යාප්ත කිරීමට භාරතය දරනු ලබන ප්‍රයත්නයට සෙසු බෞද්ධ රටවල් සහය දිය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය. බුදුසමය භාරතයෙන් ඉවත් කිරීම කිසිවිටෙකත් සිදු නොවන බව ද ලෝක බෞද්ධ සම්මේලනය අමතා කී හේ, භාරතයේ ජනාධිපතිවරයාගේ ආසනය පිටුපස ”ධම්ම – චක්‌ඛ – පවත්තනේය” ලෙස පාළි භාෂාවෙන් සටහන් වී ඇති බව කියා සිටියේ, අශෝක චක්‍රය ද භාරතයේ ජාතික ධජයේ ඇති බව පෙන්වා දෙමිනි. එම වසරේ ම ඔක්‌තෝම්බර් මස තුන් වැනිදා සමස්‌ත ඉන්දීය රේඩියෝව, ආචාර්ය අම්බෙඩ්කාර්ගේ කතාවක්‌ විකාශය කළේ ය. එහිදී ඔහු පවසා සිටියේ, සෑම මිනිසකු සතුව ම දර්ශනයක්‌ තිබිය යුතු බවත්, ඔහුගේ හෝ ඇයගේ හෝ කාර්ය සාධනය මැනීමට යම් ප්‍රමිතියක්‌ තමා විසින් ම සකසා ගෙන තිබිය යුතු බවත් ය. හින්දු සමාජ දර්ශනය ඒ සඳහා නුදුසුදු බව කී ආචාර්ය අම්බෙඩ්කාර්, නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය මත තම පෞද්ගලික දර්ශනය නිර්මාණය වී ඇති බවත්, තමා ඒ සඳහා දේශපාලන විද්‍යාව මත නොව ආගම මත යෑපෙන බවත් කියා සිටියේ තම ශාස්‌තෘවරයා බුදුන් වහන්සේ බව අවධාරණය කරමිනි.

මේ අනුව බලන කල 1950 න් පසුව ආචාර්ය අම්බෙඩ්කාර් ප්‍රසිද්ධියේ කරනු ලැබූ මත දැක්‌වීම් – ඔහුගේ ඒකායන උපක්‍රමික දිශානතිය වූ, දලිත්වරුන් හා සෙසු පීඩිතයන්ගේ විමුක්‌තිය උදෙසා ඔවුන් බෞද්ධාගමට හැරවීම පිණිස විවෘතව ම භාවිත විය. ඒවා වඩාත් ප්‍රහාරාත්මක ද වූ අතර, දශක කිහිපයක්‌ තිස්‌සේ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අනුගාමිකයන් බවට පත්ව සිටි ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක්‌ ආගමික පරිවර්තනය සඳහා ”නියෝගය” ලැබෙන තෙක්‌ බලා සිටියාහු ය. භාරතයේ සෙසු ආගමික සාහිත්‍ය අතර, බෞද්ධ දාර්ශණික පොතපත ඉගැන්වීම් හා සාහිත්‍යය ඉතා පහළ මට්‌ටමක පවතින බව ඔහු කියා සිටියේ 1955 ජනවාරි මස බොම්බායේ වාරලී හි දී ය. ”ඉන්දියානු සංස්‌කෘතියේ ප්‍රධාන ප්‍රවාහ දෙකකි. එනම්, බුදුසමය හා බ්‍රාහ්මණික ආගම වෙයි. බ්‍රාහ්මණික ආගමෙහි කුණු වතුර, බුදුසමයේ පාරිශූද්ධ ජලය හා මුසු වී හින්දු ආගම නිර්මාණය වී ඇත. අපි නව ඇළක්‌ තනා වර්තමාන අපිරිසිදු ජලයෙන් – පිරිසිදු ජලය වෙන්කර ගනිමු” යි කී ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ප්‍රකාශය, ආචාර්ය රාම්කේතී උපුටා දක්‌වයි.

1955 වසරේ දී ම, බොම්බායේ පැවැති බුරුම ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු යූ. චෑන් ටූ මහතා පිළිගැනීමේ උත්සවයේ දී, ආචාර්ය අම්බෙඩ්කාර් ”ආගම” පිළිබඳ පළ කළ අදහස්‌ විමසා බැලීම වටී. ”මානව සමාජයට අවශ්‍යම වන ආගම මිනිසුන්ට ත්‍යාගයන් දෙකක්‌ ප්‍රදානය කරයි. පළමුවැන්න, මානව සමාජයේ එකමුතුකම හා සමායෝජනය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මනෝවිද්‍යාත්මක පසුබිමයි. දෙවැන්න මානව සමාජයේ සමානාත්මතාව පවත්වා ගැනීමයි. සමානාත්මතාව මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නූතන සමාජය අපේක්‌ෂා කරයි ද, ඒ සඳහා අනිවාර්යයෙන් ම ආගම අවශ්‍ය වෙයි” ආචාර්ය අම්බෙඩ්කාර් පවසා සිටියේ ය. මහාරාෂ්ඨ්‍රයේ පුනේ ආසන්නයේ, දේහූ මාර්ගයේ අභිනවයෙන් ඉදිකළ බෞද්ධ විහාරස්‌ථානයක බුද්ධ ප්‍රතිමාවක්‌ 1955 දෙසැම්බර් මස දී ආචාර්ය අම්බෙඩ්කාර්ගේ සුරතින් නිරාවරණය කෙරිණි. බුදුසමයේ අභාවයෙන් වසර එක්‌දහස්‌ දෙසීයකටවත් පසුව මෙවැනි බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිකර නිරාවරණය කිරිමේ ගෞරවය තම අනුගාමිකයන්ට හිමි වන බව කී ආචාර්ය අම්බෙඩ්කාර් මෙය ඉතිහාසගත වන සිදුවීමක්‌ බව ද කීවේ ය. එතැන රැස්‌වුණු විසිදහසක්‌ පමණ වූ ජනතාව ඇමතූ ඔහු තමා ඉක්‌මනින් බුදුසමය වැළඳගන්නා බව යළිත් වතාවක්‌ සපථ කළේ ය. 1956 තීරණාත්මක වර්ෂය විය. එම වසරේ පෙබරවාරි මස පස්‌වන දින මහාබෝධි සංගමයේ අනුග්‍රහයෙන්, නවදිල්ලියේ බෞද්ධ විහාරස්‌ථානයක පැවැති උළෙලක්‌ ඇමතූ ආචාර්ය අම්බෙඩ්කාර්, කොමියුනිස්‌ට්‌වාදයට සාර්ථකව පිළිතුරු දිය නොහැකි කිසිදු ආගමක්‌ ඉතිහාසය තුළ තම පැවැත්ම තහවුරු කරගෙන නොමැති බව පැවසූ අතර, කොමියුනිස්‌ට්‌වාදයට පිළිතුරු දීමේ හැකියාව ඇති එකම ධර්මය බුදුසමය බව අවධාරණය කළේ ය. එහිදී ම, පුනරුත්පත්තිය ගැන තමා තුළ ඇති විශ්වාසය මෙන්ම, විද්‍යාත්මකභාවය ගැන ද අදහස්‌ පළ කිරීමට ඔහු අමතක නොකළේ ය.

බෞද්ධ දර්ශනය භාරතයේ ව්‍යාප්ත කිරීම සඳහා බැංගලෝරයේ පූජක අභ්‍යාස ආයතනයක්‌ ඉදි කිරීමට ආචාර්ය අම්බෙඩ්කාර් තුළ තිබූ අවශ්‍යතාව සපිරෙන්නේ මයිසූර්හි මහරාජා විසින් අක්‌කර පහක භූමිභාගයක්‌ ඒ සඳහා ප්‍රදානය කිරීමත් සම`ග ය. මූල්‍ය ආධාර, ලෝක බෞද්ධ සභාව හා ”බුද්ධ සරන්” කවුන්සිලය ම`ගින් ලබාදීමට කටයුතු සැලසිනි. 1951 වසරේ දී ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ලිවීමට ආරම්භ කරනු ලැබූ කෘතීන් අතර වූ ”බුදුන් වහන්සේ හා බුදුසමය” කෘතිය 1956 දී මුද්‍රණය වන්නේ, ”බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ න්‍යායන්” යන නමින්, අභිනව පරිච්ඡේ ද දෙකක්‌ ද සම`ගිනි. 1956 වසරේ මැයි මස ආචාර්ය අම්බෙඩ්කාර්ගේ දේශනයක්‌ බී.බී.සී. රේඩියෝව විසින් විකාශය කරනු ලැබිණි. එය ඉතා වැදගත් වන්නේ, තමා බුදුසමය වෙත ආකර්ශණය වූයේ ඇයි ද යන්න ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ප්‍රකාශ කිරීම නිසා ම නොවේ. එහි දී ඔහු ”බෞද්ධ මාක්‌ස්‌වාදය” යන සංකල්පය ඉදිරිපත් කිරීම නිසා ය. රුසියානු පන්නයේ කොමියුනිස්‌ට්‌වාදයක්‌ ලේ වැගිරුණු විප්ලවයක්‌ දක්‌වා ව්‍යාප්ත වීමට හැකි නමුත්, බෞද්ධ කොමියුනිස්‌ට්‌වාදය ලේ වලින් තොර තිරසාර විප්ලවයකට පසුබිම සකසන බව ද හේ ප්‍රකාශ කළේ ය.

ආගමික පරිවර්තනය සඳහා දින නියම වී තිබුනේ 1956 ඔක්‌තෝබරයේ ය. එම වසරේ ම අගෝස්‌තු මාසයේ දී ශංකරානන්ද ශාස්‌ත්‍රී සම`ග සාකච්ඡා කළ ආචාර්ය අම්බෙඩ්කාර්, මෙම මහා අනභිභවනීය අවස්‌ථාව, බොම්බාය, නාග්පූර් හා සාරානාත් යන ස්‌ථාන ත්‍රිත්වය අතරින් කවර ස්‌ථානයක දී පැවැත්විය යුතුදැයි සාකච්ඡා කළේ ය. ආචාර්ය අම්බෙඩ්කාර්ගේ පෞද්ගලික කැමැත්ත වූයේ නාග්පූර් ය. ඊට ප්‍රධාන හේතුව, බෞද්ධාගමික ආභාසයෙන් නාග ගෝත්‍රිකයන් සිය ශිෂ්ඨාචාරයේ දියුණුතම අවධිය අත්විඳි ඓතිහාසික භූමිය ”නාග්පූර්” වීම ය. එය බෞද්ධ දාර්ශනිකයකු මෙන්ම කෘතහස්‌ත විද්වතකු වූත්, නාගාර්ජුනයන්ගේ ජන්මභූමිය වීම ද ඊට හේතුවූ බව විචාරකයෝ පෙන්වා දෙති. ස්‌ථානය තීරණය වීමෙන් අනතුරු ව, නාග්පූර්හි භාරතීය බෞද්ධ ජන සමිතියේ ලේකම්වරයා දිල්ලියට කැඳවූ ආචාර්ය අම්බෙඩ්කාර්, අවශ්‍ය කටයුතු සම්පාදනය පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කළ අතර, එම වසරේ සැප්තැම්බර් මස විසිතුන්වැනි දා පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ ඔක්‌තෝබර් දාහතරවැනි දා පෙරවරු නවයත් එකොළහත් අතර නාග්පූර්හි දී යෝජිත ආගමික පරිවර්තනය සිදුවන බවයි. සියලුම පීඩිත ජන කණ්‌ඩායම් සඳහා, – විශේෂයෙන් ම දලිත්වරුන් සඳහා සුදුවතින් සැරසී පැමිණෙන ලෙස ද දැනුම් දෙනු ලැබිණි. ඒ වන විට භාරතයේ සිටි ජ්‍යෙෂ්ටත ම භික්‌ෂූන් වහන්සේ වූයේ කුසිනාරාවේ චන්ද්‍රාමනී හිමියෝ ය. මේ ඓතිහාසික අවස්‌ථාවේ ආගමික වතාවත් කිරීම සඳහා උන්වහන්සේට ආරාධනා කිරීමට ආචාර්ය අම්බෙඩ්කාර් තීරණය කළේ ය. ඒ සම`ග ම මහාබෝධි සංගමයෙන් ද අදාළ කටයුත්තට සහය දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබිණි. එම ආරාධනයට ප්‍රතිචාර වශයෙන් එවකට ඉන්දියාවේ සුප්‍රසිද්ධ මහාබෝධි ස`ගරාව මේ නිර්භීත ක්‍රියාව දකින සමස්‌ත බෞද්ධ ලෝකය ම තෙවරක්‌ සාධුකාර දෙනු ඇතැයි ලියා පළ කළේ ය. ඔක්‌තෝබර් දහතුන් වැනිදා යළිත් පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවූ ආචාර්ය අම්බෙඩ්කාර්, හෙට දිනයේ තමා ඇතුළු ලක්‌ෂ සංඛ්‍යාත පීඩිත පුරවැසියන් විසින් වැළඳ ගන්නා වූ බුදුසමය නව ප්‍රභේදයක්‌ හෙවත් ”නවයානය” ලෙස නිවේදනය කළේ ය. බ්‍රාහ්මණික පාලකයන්ගෙන් කිසිදු සුභවාදී ප්‍රතිචාරයක්‌ නොලැබීම හේතුවෙන්, තමා නියමිත වේලාව උදා වූ කල පීඩිතයන්ගේ විමුක්‌තිය වෙනුවෙන් භාරතයට අවම හානියක්‌ වන පියවරක්‌ ගැනීමට සූදානම්ව සිටින බව මහත්මා ගාන්ධි සම`ග ද කීවේ යෑයි ආචාර්ය අම්බෙඩ්කාර් පවසා සිටියේ ය. වසර පහළොවක දී මේ ආගමික පරිවර්තනය සමස්‌ත උපමහද්වීපය පුරාම ව්‍යාප්ත වනු ඇතැයි අනුමාන කළ ඔහු භාරතය මුලූමනින් ම බෞද්ධ රාජ්‍යයක්‌ වනු ඇතැයි කීවේ ය. බුදුසමය භාරතීය සංස්‌කෘතියේ ම කොටසක්‌ බවත් මෙම ක්‍රියාව භාරතීය සංස්‌කෘතික අනන්‍යතාවට කිසිසේත් ම හානිකර නොවන බවත් කී ආචාර්ය අම්බෙඩ්කාර්, කවදා හෝ දිනෙක බ්‍රාහ්මණික වංශිකයකුට ද සිදුවන්නේ බුදුසමයේ අනුගාමිකත්වය ලැබීමට බව ද පවසා සිටියේ ය.

ඔක්‌තෝබර් 14 වැනිදා උදෑසන සමස්‌ත දික්‌ෂා භූමියම සුදු වතින් සැරසුණු මිනිසුන්ගෙන් පිරී ගියේ ය. ඒ පිළිබඳ ව වසන්ත් මූන් හා සංඝරක්‌ෂිත හිමියන්ගේ සටහන්, ඉතා විචිත්‍රවත් විස්‌තර කතනයක නියෑලෙයි. දුම්රිය, බස්‌රිය හා වෙනත් ප්‍රවාහන මාධ්‍යයක ආධාරයෙන් පැමිණෙන බලාපොරොත්තු සහගත මිනිසුන්ගේ ”බුද්ධ භගවාන් කී ෙ-යි ¾ බාබා සහේබ් අම්බෙඩ්කාර්කී ජෙයි ¾” යන හ`ඩින් දසත ගිගුම් දුන්නේ ය. දික්‌ෂා භූමියට රැස්‌වූ පිරිස ලක්‌ෂ හතරත් පහත් අතර වූ බව මූලාශ්‍ර පෙන්වා දෙයි. ඉදිකර තිබූ අතිවිශාල පීඨ§කාව මත කොටි රූප දෙකක්‌ අතර වූ මේසයක්‌ මත ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක්‌ වූ අතර ඒ ඉදිරිපස පහන්, හ»න්කූරු දල්වා තිබිණි. මහාබෝධි සමාගම නියෝජනය කරමින් ඩී. වලිසිංහයෝ ද, පූජ්‍ය එම්. සංඝරතන හිමියෝ ද, පූජ්‍ය එච්. සද්ධාතිස්‌ස හිමියෝ ද, පූජ්‍ය පඤ්ඤානන්ද හිමියෝ ද වේදිකාව මත වූ සෙසු පිරිස අතර වූහ. උත්සවය ආරම්භ වූයේ ආචාර්ය අම්බෙඩ්කාර් පිළිබඳ මරාටි බසින් ගැයුනු ගීතයකින් අනතුරුව ය. ඉන් අනතුරුව අසූතුන් වියෑති චන්ද්‍රාමනී මහා ස්‌ථවරයෝ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට නමස්‌කාර කරගෙන සිටින ආචාර්ය අම්බෙඩ්කාර් ඇතුළු සම්භාවනීය පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටවූහ. (මෙම අවස්‌ථාවෙහි ඇති ඓතිහාසිකත්වය හා අතිශය සංවේදී බව නිසාම ඇතැම් ක්‍රියාකාරී පිරිස්‌ මෙම සිදුවීම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට නැගීමට උත්සහ දරා ඇත. ඉදින් ඔබට අන්තර්ජාල පහසුකම් ඇත්තේ නම් යඑඑචථරැරැඅඅඅගහදමඑමඉeගජදපරැආඑජය ඔස්‌සේ එය නරඹන්න) බෞද්ධයකු වීමෙන් අනතුරුව ආචාර්ය අම්බෙඩ්කාර් විසින් වගන්ති විසි දෙකකින් සමන්විත නවයාන බෞද්ධ සම්ප්‍රදායේ දිවුරුම් ප්‍රකාශය කියවන ලදී. ආනන්ද් කෞෂල්‍යයන් විසින් හින්දි බසින් ලියන ලද ”භාරතීය බෞද්ධ ඝෝෂණ පත්‍ර” නම් මූලාශයෙන් උපුටා ආචාර්ය ඩී.එල්. රාම්තේකී විසින් සම්පිණ්‌ඩනය කරන ලද එම දිවුරුම් විසි දෙක පහත පරිදි වේ.

01. මම බ්‍රහ්ම, විෂ්ණු හෝ ශිව – දෙවියන් සේ නොසලකන අතර ඔවුන් වන්දනා නොකරමි.

02. මම රාම හා ක්‍රිෂ්ණ – දෙවියන් සේ නොසලකන අතර ඔවුන් වන්දනා නොකරමි.

03. මම ගෞරී, ගණපති වැනි හින්දු දේව විශ්වාසයන් නොපිළිගන්නා අතර ඔවුන් වන්දනා නොකරමි.

04. දෙවියන් මොනම අයුරකින් හෝ උපත ලබන බව හෝ විවිධ අවතාරයන්ගෙන් පෙනී සිටින බව නොඅදහමි.

05. බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්‌ යෑයි යන විශ්වාසයෙන් බැහැර වන අතර, එය මෝඩ හා බොරු ප්‍රචාරයක්‌ බව පිළිගනිමි.

06. ”ශ්‍රද්ධා” හෝ ”පිණ්‌ඩ” පුදපූජාවන්හි නිරත නොවෙමි.

07. බුදුසමයේ මූලික රීතීන්ට එරෙහිව කිසි විටෙකත් ක්‍රියා නොකරමි.

08. බ්‍රාහ්මණිකයන් විසින් පුරනු ලබන කිසිදු සංස්‌කාරයක්‌ මම පිළි නොගනිමි.

09. සියල්ලන් සමානය යන මූලධර්මයේ මම පිහිටා සිටිමි.

10. සමානාත්මතාව ස්‌ථාපනය කිරීමට මම වෙහෙසෙමි.

11. මම ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි පිහිටා කටයුතු කරමි.

12. මම ධර්මයේ සඳහන් දස පාරමිතා පුරමි.

13. සියලූ ජීවීන්ට මම මෛත්‍රීය කරන අතර ඔවුන් රැකබලා ගැනීමට උත්සාහ දරමි.

14. බොරු නොකියමි.

15. සොරකම් නොකරමි.

16. කාම මිච්ඡාචාරයෙන් වැලකී සිටිමි.

17. මදයට හේතුවන පමණින් මම කිසිදු මධ්‍යසාරයක්‌ පානය නොකරමි.

18. බුදුදහමේ මූලික ශීලයන්, මෛත්‍රීය, නිර්වාණය යන බෞද්ධ ඉගැන්වීම්වලට අනුව මගේ ජීවිතය හැඩගස්‌වා ගනිමි.

19. බ්‍රාහ්මණිකයන් හැර සෙසු මිනිස්‌ වර්ගයා පහත් ජන්මයන් ලැබ ඇතැයි සලකන, අසමානාත්මතාව තහවුරු කරන, මානව විමුක්‌තියට එරෙහි, බ්‍රාහ්මනික හින්දු ධර්මයෙන් මා ඈත් වන අතර, බුදු සමය දිනෙන් දිනම වැළඳ ගනිමි.

20. බුදු දහම හොඳම ආගමික මාර්ගය යනු මගේ ඒකායන තීරණයයි.

21. මම අද නව ජන්මයක්‌ ලත් බව අදහමි.

22. අද සිට මම බුදුදහමට අනුකූලව කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වෙමි.

ආචාර්ය අම්බෙඩ්කාර් බෞද්ධයකු බවට පත්වීමෙන් පසුදින, එනම් ඔක්‌තෝබර් 15 වැනි දා එම දක්‌ෂා භූමියේ රැඳී සිටි පිරිස අමතා සරල මරාති බසින්, බුදු සමය වැළඳ ගැනීමට කැමැත්තෙන් සිටින්නන්ට නැගී සිටින ලෙස දන්වා සිටියේ ය. ලක්‌ෂ පහකට අධික වූ මහා ජන සමුදාය එකාවන්ම නැගී සිටි අතර, තිසරණ සරණ පංච ශීලයත්, ඉහත සඳහන් කළ දිවුරුම් විසි දෙකත් සමාදම් වන උදාරම් හ`ඩින් මුළු ප්‍රදේශය ම ගිගුම් දුන්නේ ය. මේ දැවැන්ත කර්තව්‍යයෙන් අනතුරුව යළිත් ඔවුන් ඇමතූ ආචාර්ය අම්බෙඩ්කාර්, ආත්ම ගරුත්වය හුදු ද්‍රව්‍යාත්මක වටිනාකම්වලට වඩා වටින්නේ යෑයි සඳහන් කළ අතර මේ ව්‍යායාමය ඒ සඳහා ම යෑයි කියා සිටියේ ය. එම ඓතිහාසික අවස්‌ථාවේ සිට ඊළ`ග වසර කිහිපය තුළ බුදුසමය වැළඳගත් ඉන්දියානු ජනගහනය පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුමාන වශයෙන් ඩී.එල්. රාම්තේකී ස්‌වකීය ”නූතන ඉන්දියානු බුදුසමයේ උන්නතිය” නම් කෘතියේ දක්‌වා ඇත. ප්‍රදේශ වශයෙන් එම සංඛ්‍යා ලේඛන ගෙනහැර පෑම අසීරු බැවින් වාර්ෂිකව බුදුසමය වැළඳගත් පිරිස මෙහිලා ඉදිරිපත් කරමි. ඒ අනුව 1956 වසර තුළ දී 1,427,000 ක්‌ පමණ ද, 1957 වසරේ දී 1,546,500 ක්‌ පමණ ද, 1958 වසරේ දී 144,400 ක්‌ පමණ ද, 1959 දී 218,000 ක්‌ පමණ ද, 1960 දී 163,300 ක්‌ පමණ ද, 1961 දී 8000 ක්‌ පමණ ද 1962 දී 12,000 ක්‌ පමණ ද 1963 දී 15,000 ක්‌ පමණ ද 1964 දී 450 දෙනෙක්‌ පමණ ද බුදුසමය වැළඳ ගෙන ඇත. ඒ අනුව, 1956 – 1964 වකවානුවේ බුදුසමය වැළඳගත් පිරිස දළ වශයෙන් 3,534,650 කි. 1956 වන විට ආචාර්ය අම්බෙඩ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් ම පිරිහී තිබුණි. ඔහුගේ අභාවය හදිසියේ සිදු නොවන්නට, වරෙක ඔහු සඳහන් කළ පරිද්දෙන්, 1956 න් පසුව ගෙවෙන දශක කිහිපයක්‌ තුළ දී භාරතය මුලූමනින් ම බෞද්ධ රාජ්‍යයක්‌ වන්නටත් ඉඩ තිබිණි.

භාරතයේ බෞද්ධ පුනරුදය
චමිල ලියනගේ
හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලය

Source : සිංහලේ නව නිදහස් සටන
http://www.facebook.com/nidahaskerella/posts/147704612060923

Advertisements
පැත්තකින් | This entry was posted in බෞද්ධ and tagged . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )