උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය | The Sinhalese heritage of North and East

මේ ලිපිය ඇස්‌. බී. කරල්ලියද්ද මහතානන් විසින් ලියූවකි. මූණු පොතෙහි “හෙළ විජය” එකතුවෙන් උපුටා ගන්නා ලදී. මෙහි ලේඛකයාට සහ හෙළ විජය එකතුවට නිර් රාමුගේ තුති පිදේ.

ගෞතමයන් සම්බුද්ධත්වයට පැමිණ දෙදහස්‌ හයසිය වසරක්‌ අනුස්‌මරණය කරන මෙම බක්‌ පොහෝ දිනයට හරියටම අවුරුදු දෙදහස්‌ පන්සිය හැටකට පෙර මෙම භාග්‍යවන්ත බක්‌ මාසයේ අටු කොටු පිරි සිරිලක සශ්‍රීකව පැවති ගස්‌ වැල් පුරා මල්පල දැරූ මාසයක අද වැනි දිනයක ගෞතම බුදුන් වහන්සේ දෙවන වරටත් ලක්‌දිවට වැඩම කර ඇත. ඒ වනවිට උන්වහන්සේ හතලිස්‌ හැවිරිදි මැදිවියේ පසු විය. පළමු වරට ලංකාවට වැඩි දුරුතු පොහොය දින උන්වහන්සේ අවුරුදු තිස්‌පහකුත් නව මාසයක්‌ වූ භද්‍ර යෞවනයෙක්‌වූ, අදින් අවුරුදු දෙදහස්‌ පන්සිය හැට හතරයි මාස තුනකට පෙර දිනකය. එකල නාග රජවරුන් වවුනියාවේද සිටි බව වවුනියාවේ එරුපොතානේ ඇති සෙල්ලිපියක දැක්‌වේ. කැලණියේ සිටි මණි අක්‌ඛත නා රජුත් කළ වෙහෙරක්‌ සෝමාවතියෙහි හමුව ඇත. එ දවස සෝමාවතිය ප්‍රදේශය විශාල නැව් තොටකි. දුටුගැමුණු රජතුමාද මව් පාර්ශ්වයෙන් නාග ගෝත්‍රික වූ අතර එතුමාගේ යෝධයන් වූ වේලුසුමන හා ඵුස්‌සදේව ද එකම පවුලක නාග ගෝත්‍රිකයන්ය. මුලින් සඳහන් කළ පරිදි බුදු හාමුදුරුවන්ගේ පළමු ලංකා ගමන මහියංගනයට යෙදුනේද යක්‍ෂ ගෝත්‍රික පිරිසක්‌ දමනය කිරීමටය. එකල යක්‍ෂ හා නාග ගෝත්‍රිකයින් ප්‍රබල පිරිසක්‌ විය. වෙසමුණි ශාතාගිරි කුවේර ආදීන් ඉන් ප්‍රධාන නායකයින් විය. “ශාතා ගිරෝ නමෝ යක්‌ඛෝ” යන්නෙන් කියවෙන්නේ බුදු හාමුදුරුවන්ට පළමු වරට “නමෝ” කියා වැන්දේ ශාතාගිරි බවය. ශාතාගිරි යක්‍ෂයාගේ භවනක්‌ තිබූ ශාතාගිරි පබ්බත මහනුවර හන්තානේ කන්දයි, ඔහුට තවත් භවනක්‌ තිබී ඇත්තේ හොරොවුපතාන බෙරවාගම අසළය. වෙසමුණි ද බුදු හාමුදුරුවන්ගේ සූත්‍ර දේශනාවක්‌ ඇසීමට ලියුම්කරුගේ ගම අසල බඹරගලට ගුවන් යානයකින් ගොස්‌ ඇත. ගුවන් යානය නතර කර ඇති කන්ද උඩ ගල් පර්වතය අදත් දැකිය හැකි බව ජයරත්න පතිරගේ මහතා “පවතින ලංකා ඉතිහාසය හරිද?” පොතෙහි සඳහන් කරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ද බුදුරජාණන් වහන්සේ වරක්‌ මෙම ගල් ගුහාවේ වැඩ සිටි බව සඳහන් කරයි, ශාතාගිරි යක්‍ෂයා ද මෙවර එහි ගොස්‌ සිට ඇත. බුදුන්වහන්සේ ආටානාටිය සූත්‍රය දේශනා කළේ එම යකුන්ට ය. අද වැනි දිනක උන්වහන්සේ අද අප යාපනය අර්ධත්වීපය වශයෙන් හඳුන්වන නාගදීපයට වැඩම කර ඇත. තුන්වන වතාවට උන් වහන්සේ කැලණියට වැඩම කළේ හතළින් තුන් හැවිරිදි වියෙහි වූ අදින් අවුරුදු දෙදහස්‌ පන්සිය පනස්‌ හත් වසරකට පෙර ය. දශක හතරකට පමණ ආසන්න කාලයක්‌ මුළුල්ලේම උතුරේ මෙම භූමිය ශ්‍රී ලංකා පොළොවෙන් වෙන්ව වෙනත් රාජ්‍යයක්‌ මෙන් පැවත නැවත වරක්‌ දකුණේ ජනතාවට වැඳ පුදා ගැනීමට මෙන්ම සංචාරය සඳහා යා හැකි වාතාවරණයක්‌ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රණවිරුවන් විසින් උදාකොට දී ඇත. එබැවින් යාපනය අර්ධද්අවීපයට යන අපේ සිංහලයන් එම ප්‍රදේශයේ සිංහල බෞද්ධ උරුමයන් පිළිබඳ මඳක්‌ හෝ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණය.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි ගමනේහිදී ශ්‍රී පාදයේ ලාංඡනයක්‌ එහි පිහිටුවා තිබූ බවත් තමා එයට වන්දනා මාන කළ බවත් ක්‍රි.ව. 412 පමණ මෙහි පැමිණි චීන ජාතික ෆාහියන් නමැති දේශ ගවේශක බෞද්ධ හිමි නමක්‌ සඳහන් කරයි. සමනල කන්දෙහි සිරිපා තබන විට අනුරාධපුරයෙන් උතුරට වූ ප්‍රදේශයකද සිරිපා සලකුණක්‌ තබා ඇති බව පැවැසෙයි. එම ස්‌ථානය සුලිපුරවූ අද දමිළයන් චුල්ලිපුරම් යෑයි දෙමළෙන් භාවිතා කරන ප්‍රදේශයය ආසන්නයෙහිම “තිරු ආදි නිලෙයි” යන කැළෑබද ප්‍රදේශයයි. තිරු යනු පූජනීයයි, අදි යනු පාදයයි, නිලෙයි යනු ස්‌ථානයයි. අද එම ස්‌ථානය හඳුනාගෙන ආරක්‍ෂා කර දීම ආගමික කටයුතු අමාත්‍යංශයට හා පුරා විද්‍යා අමාත්‍යංශයේ එකතුවෙන් සිදුකළ යුතු ජාතික මෙහෙවරක්‌ මෙන්ම වගකීමෙක්‌ද වේ. බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළේ එවකට එහි පදිංචිව සිටි නාග ගෝත්‍රිකයන් හා වයඹදිග කල්පිටිය ප්‍රදේශයෙහි වඩනාගල ජනාවාස කොටගෙන සිටි නාග ගෝත්‍රිකයන් අතර වූ සටනක්‌ සමථයකට පත් කිරීමයට. එකල නාගදීපය, කල්පිටිය, වඩනාගල හා කැලණිය ජනාවාස වී තිබුණේ ප්‍රබල නාග ගෝත්‍රිකයින්ගෙනි. ඔවුන් එකිනෙකාගේ සමීපතම ඥතීන් ද වූහ. නාගදීපයෙහි රජු මහෝදර වූ අතර කල්පිටිය ප්‍රදේශයේ නායකයා වූයේ චූලෝදර ය. කැලණි රාජ්‍ය මනිඅක්‌ඛත රජු භාරයේ පැවතුනි. මහෝදර ඉතා බලසම්බන්න වූ සමුද්‍ර නාග භවනෙහිද අධිපති විය. චුලෝදර මහෝදර අතර ඇති වීමට ගිය මෙම සටන මැණික්‌ පුටුවක්‌ නිසා හටගත් බව බෞද්ධයන් කවරුත් පාහේ දන්නා කරුණක්‌ බැවින් ඒ පිළිබඳ නැවත කීමට මෙහිදී අදහස්‌ නොකෙරේ. මෙම ගැටුම පිළිබඳ දිවැසින් දැකගත් තථාගතයන් වහන්සේ එම ගැටුමෙන් සිදුවන ලේ ගලන අනවශ්‍ය මිනිස්‌ ඝාතන නිසි කලට මැදිහත් වීමෙන් වලක්‌වාලීය.

බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනේහිදින් යක්‍ෂ ගෝත්‍රිකයන් පිරිසක්‌ අතර සිදුවීමට තිබූ ලේ ගැලීමක්‌ මෙලෙසටම මහියංගනයට වැඩම කිරීමෙන් නිමාවට පත් කළ බව අප දනිමු, නාගදීපයෙහි මෙම ගැටුම සඳහා නාගයන් කඳවුරු බැඳ සිට සටන ආරම්භ කිරීමට නියමිත වූ ස්‌ථානය මලල්ගමය. මලල්ගම කීවේ සටන මල්ලව පොරයක්‌ බඳු වීමට ඉඩ තිබූ නිසාය. අද එම ප්‍රදේශය දමිළයන් හඳුන්වන්නේ මල්ලාකම් කියාය. ත්‍රස්‌තවාදින් විනාශ කළ මල්ලාකම් දුම්රිය ස්‌ථානය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිළිසකර කිරීමට පියවර ගැනීම ප්‍රශංසනීයයි. යුද්ධයට එලඹ සිටි ඥාති නාරජුන් දෙදෙනා යුද්ධ නවතා සාමදාන වී මැණික්‌ පුටුව නිධන් කොට චෛත්‍යයක්‌ සෑදීය. එම ගම කඳුරුගොඩ වූ අතර, එයට දමිළයන් කියන්නේ කන්දරෝඩෙයි කියාය. කදුරුගොඩ බෞද්ධ චෛත්‍යය වැඳ පුදා ගැනීමට උතුරට යන්නන් අමතක නොකළ යුතුය. මෙම චෛත්‍ය තිබූ ස්‌ථානයේ බුදුන්ගේ ගමන සිහිවීමට කිරිපලු ගසක්‌ රෝපණය කළ බවත් එම ස්‌ථානය ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් 1913 හඳුනාගෙන එය පුරා විද්‍යා ස්‌මාරකයක්‌ ලෙස රක්‍ෂණය කළ බවත් සඳහන්ය. අද එහි යන වන්දනාකරුවන් මෙම ගස ගැන සොයා බැලිය යුතුය. එය තිබේ නම් අදට ලෝකයේ තිබෙන පැරණිම ගස වේ. මෙම භූමියේදී කැලණියේ මණිඅක්‌ඛත හා රජුන් බුදුරජුන් හමුව තම රාජධානියට වඩිනා ලෙස ආරාධනය කළේය. එය පිලිගත් ගෞතමයන් වෙසක්‌ පොහෝ දිනක කැලණියට වැඩම කළ අතර එදින මුලු ලංකාවේම පහන් පත්තු කර පැවැත්වූ උත්සවය ලොව පළමු වෙසක්‌ උත්සවය ලෙස පිළිගැනේ. එය සිංහල බෞද්ධයන්ගේ ගෞරවයට මෙන්ම ආඩම්බරයටත් හේතු වේ.

සිරිමාබෝ ශාඛාව රැගෙන සංඝමිත්තා මහ තෙරණිය මෙරටට පැමිණියේද යාපනයේ දඹකොළ පටුන වරායෙනි. දඹකොළපටුන හෙවත් ජම්බුකෝල පටුන කන්කසන්තුරේ අසල පිහිටි අද සාම්බල්තුරේ ලෙසින් දමිලෙන් හඳුන්වන ප්‍රදේශයයි. දේවානම් පියතිස්‌ස රජතුමා විසින් බෝධි ශාඛාවක්‌ සුලිපුර ගම අසල රෝපණය කර එහි විහාරයක්‌ද ඉදිකරන ලදී. එම ගම අද චුල්ලිපුරම් නමින් හඳුන්වයි. සංඝමිත්තා බෝධි යෑයි නම් තැබූ මෙම ප්‍රදේශය සකල ලෝක බෞද්ධ ජනතාවගේම වන්දනීය පුද බිමක්‌ බවට පත් වූ විශාල සිංහල ජනතාවක්‌ එදා පදිංචිව සිටි ප්‍රදේශයක්‌ බව මුදළිඳු සී. රාසනායගම් ඔහුගේ “Ancient Jaffna” නම් පොතෙහි සඳහන් කරයි. බෞද්ධ විහාර, සංඝාරාම, ප්‍රතිමා, ස්‌ථූප ආදි බෞද්ධාගමික පූජා වස්‌තු විශාල ප්‍රමාණයක්‌ මෙම පෙදෙසෙහි තිබුණි. එදා ගම් සාරලක්‍ෂ පනස්‌දාහක්‌ තිබූ පිහිටි රටට යාපනය අර්ධද්වීපය අයත් විය. පින්වත්ත ගම විහාරයන්ට පිදු ගමකි. තෙලිපොල යෑයි සිංහලේ නම් පොතේ සඳහන් ගම අද තෙල්ලිපලේ ය. මෙහි ඇති බුද්ධ වලව්ව එදා පැවති සංඝාරාමයක්‌ විය යුතුය.

එදා වසභ රජු දවස (65-109) යාපනය පාලනය කළේ පියඟු දිවයින යෑයි නම් පොතේ සඳහන් ස්‌ථානයේ සිටි පියඟුතිස්‌ස ඇමැතිවරයා ය. අද එයට පුන්කුඩුතිව් කියා දමිළෙන් ව්‍යවහාර වේ. එකල මෙම දිවයිනෙහි දොළොස්‌ දහසක්‌ මහා සංඝයා පදිංචිව සිට ඇත. එදා හුණුගම නම් වූ බෞද්ධ දාගැබක්‌ පිහිටි සිංහලගම අද චුන්නාකම් නමින් හඳුන්වයි. දාගැබ දුම්රිය පලට ආසන්නව පිහිටා ඇත. තිස්‌සගම නම් වූ තිස්‌සමහා විහාරය, දඹකොල විහාරය, පච්චිමාරාමය ආදිය පිහිටි විශාල බිම් ප්‍රදේශයට ඔවුන් තිස්‌සමලෙයි කියයි. මංගල විහාරය සාලිපබ්බත විහාරය ආදිය වැඳ පුදාගත යුතු බෞද්ධ සිද්ධස්‌ථානයන්ය. වසභ රජතුමා රන් පත්තිරු ලිපිය පිහිටු වූ වල්ලිපුරට අද වල්ලිපුරම් කියයි.

මුගටිකන්ද අද කීරමලෙයි යනුවෙන් හැඳින්වේ. අද උඩුවිල උඩුවිල්ය. මහාදීප වූ දිවයිනට අද කියන්නේ ඩෙල්ෆ්ට්‌ යනුවෙනි, මුලදීපය අද දමිළෙන් හඳුන්වන්නේ මුලතිව් වශයෙනි. එදා දියුණු වෙළෙඳ වරායක්‌ව තිබූ ඌරාතොට අද කයිට්‌ස්‌ නමින් දනී. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් පවසන්නේ අද තිව් නමින් හඳුන්වන යාපනේ සියලුම දූපත් සිංහළ රජතුමාගේ භාරයේ තිබූ බවය. යාපනයේ මෙවැනි සිද්ධස්‌ථාන විසි එකක්‌ ද මන්නාරමේ හතරක්‌ ද වවුනියාවේ හා මුලතිවු දිස්‌ත්‍රික්‌කයේ එකසිය හතරක්‌ද, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ එකසිය අසූවක්‌ද. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන විසි එකක්‌ද, අම්පාර දිස්‌ත්‍රික්‌කයේ හතලිස්‌ හයක්‌ද ආදී වශයෙන් බෞද්ධාගමික සිද්ධස්‌ථාන හා පුරාවස්‌තු රැසක්‌ පිළිබඳ තොරතුරු එකතු කර එවකට අමාත්‍යවරයෙකු හා රාජ්‍ය සේවා බෞද්ධ බල මණ්‌ඩලයේ සභාපතිධුරය දැරූ සිරිල් මැතිව් මහතා යුනෙස්‌කෝ සංවිධානය වෙත යොමු කරමින් එම ස්‌ථාන එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් මෙන්ම රාජ්‍ය බලයට මුවා වී සිටි දමිල දේශපාලකයින්ගෙන්ද ආරක්‍ෂා කරවා දෙන මෙන් ඉල්ලා සිටියේය. අද උතුරු නැගෙනහිරට නිදහසේ යාමට හැකි වාතාවරණයක්‌ උදා වී ඇති බැවින් සියලුම සිංහල බෞද්ධයන් අපේ උරුමයන් රැක ගැනීමට කටයුතු කළ යුතුය. කෛලාශපුරාණ නම් ග්‍රන්ථයට අනුව කුලගොත් රාජා නම් රජ කෙනෙකු ත්‍රිකුණාමලය අගනුවර කොටගෙන සිරිලක පාලනය කර ඇත. පසුව මහෝදර යාපනයේ රජු විය. යාපනය ප්‍රදේශයට නිතරම සොලී හා පඬිරටින් ආක්‍රමණ එල්ල විය. එනම් නූතන මදුරාසියෙන් කේරළ හා ආන්ද්‍ර දේශයෙන්ය.

වර්ෂ 1283 ඇති වූ පඬි ආක්‍රමණයෙන් පසුව දශක දෙකක්‌ පමණ ආහාර හිඟයක්‌ ඇති වූයෙන් සිංහල ජනතාව ක්‍රමයෙන් දකුණට සංක්‍රමණය විය. යාපනය අසල මුහුදෙහි ගමන් කළ හා වෙළඳාමෙහි යෙදී සිටි අරාබි වෙළෙඳුන්ගෙන් එකල සුළු පිරිසක්‌ව සිටි දමිළ ජනයාට නිතර නිතර ඇතිවූ කරදර හිරිහැරවලින් ඔවුන් ආරක්‍ෂාකර ගත්තේ සිංහලයන් බව ශ්‍රීමත් සැමුවෙල් බේකර් ඔහුගේ කෘතියෙහි සඳහන් කරයි. පෘතුගීසින් මෙහි ගොඩබසින විට යාපනය අයත්ව තිබුණේ කෝට්‌ටේ රාජධානියටය. සපුමල් කුමාරයා යාපනයේ දී යුද්ධයක්‌ කර කෝට්‌ටේ හයවන පරාක්‍රමබාහු රජුට අයත් කර දුන් බව සැළලිහිණි සන්දේශය මෙසේ වර්ණනා කරයි. නිලතුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුලකැර සේසත් මිනිබරණ කිරණින බල පිරිසෙන් සහ යාපා පටුන ගෙන බල සේනානායක සපු කුමරු එන මේ සපුමල් කුමාරයා යාපනයේ නල්ලූර් කෝවිල් ඉදි කළේය. කෝවිලේ ස්තෝත්‍ර ගායනයෙහිදී අදත් සපුමල්ගේ බිසෝවරුන් දෙදෙනා වූ මහාවල්ලි හා ගජවල්ලීගේ නම් සඳහන් කෙරේ. “ශ්‍රීමත් මහාරාජාදිග රාජ්‍ය අගන්ද භූමි මණ්‌ඩල ප්‍රත්‍ය කන්ථ විශ්වන්ත ශ්‍රී ගජවල්ලී, මහාවල්ලී සමේන සුබ්‍රමණියාය පාදා රවින්ද්‍ර ජනතෲ ධශෝබන, මහාදාන සූර්යකුල මහා දිසාව ශ්‍රී ජගත් සංඝබෝධි බුවනෙකබාහු” නැවත 1617 දී යාපනය පෘතුගීසින් යටතට ද 1658 ලන්දේසින්ගේ පාලනය යටතට ද පත් විය. සෙනරත් රජතුමා 1628 දී සිය ඥති පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල සමග යාපනය ආක්‍රමණය කළේය. දෙවැනි රාජසිංහ රජුගේ “හුරතලා” නම් ඇත් පැටවෙකු ලන්දේසින් විසින් පැහැරගත් බැවින් රජතුමා ලන්දේසින්ට විරුද්ධ යුද්ධ කොට යාපනය අත්කර ගත්තේය. යාපනය සිය වසකට අඩු කලක්‌ පෘතුගීසින් විසින් පාලනය කළත් ඔවුන් ආගම ප්‍රචාරය සඳහා ගොඩනැඟූ දේවස්‌ථාන හා පාසල් අදත් දැකිය හැක. එච්. ඩබ්ලිව්. කොඩ්රිංග්ටන් මහතාට අනුව දකුණු ඉන්දියාවට ඉතා සමීප වූ මෙම පෙදෙස්‌වල දමිලයන් පැමිණ පදිංචි වී එහි තිබූ සිංහල නම් ගම් ද දමිළකරණයට ලක්‌ කළේය. ඒ අනුව මල්ලාගම, මල්ලාකම්ය. හුණුගම චුන්නාකම්ය. වැලිගම, වලිකාමම්ය. උඩුවිල, උඩුවිල්ය. කොකුවිල, කොකාවිල්ය. මුලදීප මුලතිව්ය. කරදීප, කරතිව්ය. මාවතුපුර, මාවතුපුරම්ය. පන්නයාගම, පන්නයාකම්ය. පියගුදිප, පුන්කුඩුතිව් ය. එ දවස පන්නගම සහ හුණුගම සිටියෝ පන්න හා හුණු කුල වලට අයත් සිංහලයන් ය. දෙවන පරාක්‍රමබාහු කාලයේ ජාවක්‌ ආක්‍රමණිකයන් රඳවා සිටි ජාවක්‌ කෝට්‌ටේ අද චාවාකච්ච්රියයි. යාපනය හා සිංහලේ නෑ සබඳකම් කෝට්‌ටේ අටවන වීර පරාක්‍රමබාහුගේ දෙවන බිසවගේ දුවකගේ පුතුන් වූයේ සකල කලා වල්ලභ හා තනිවල්ලභය. ඔවුන් දෙදෙනාගේ පියා යාපනේ යුවරජ වූ පරරාජසේකරම්ගේ පුත් කයිවල්ලියබණ්‌ඩාරය. මොවුන් දෙදෙනාගේම භාර්යාව වූයේ බිසෝ ළමා එතනී නොහොත් කෝමරී බණ්‌ඩාරීය. ඇය නවවන ධර්ම පරාක්‍රමබාහු (කෝට්‌ටේ) හා දොලොස්‌ දහස්‌ රට හා ගිරුවාපත්තු දෙවිනුවර රජුව සිටි හත්වැනි විජයබාහුගේ ඒකාබද්ධ ) විවාහයේ දරුවෙකි. ඇගේ පුතාය වීදිය බණ්‌ඩාර. වීදිය බණ්‌ඩාරගේ දුව යාපනේ හරිනේෂ්වර බණ්‌ඩාරගේ බිසවය. ඔවුන් ලැබූ දුව දෝන මරියා පෙරේරා යාපනයේ සිටි පෘතුගීසි පාලකයා වූ සින්හාවෝ පින්හාවෝගේ බිරියයි. මෙම ඥති සබඳතා 1618 දක්‌වා උතුරේ පැවති නල්ලූර් රාජ්‍යයට ද ව්‍යාප්ත විය. පෘතුගීසින් මෙහි පැමිණෙන විට මෙහි රජකළ නවවන ධර්ම පරාක්‍රමබාහු හා හයවන විජයබාහු දෙසොහොයුරන්ගේ ඒකාබද්ධ විවාහය වූයේ එවකට යාපනයේ පාලකයා වූ පළමුවන පරරාජසේකරම්ගේ (1478-1519) දුව සමගය. විමලධර්මසූරිය රජුගේ පුතුන් වූ ඌවේ කුමාරයා නොහොත් කුමාරසිංහ ද මාතලේ ගොඩපල කුමාරයා නොහොත් විජයපාල ද බිසවුන් කොට ගත්තේ යාපනයේ ප්‍රාදේශීය රජු වූ අරසත් කේසරී බණ්‌ඩාරගේ දියණියන් දෙදෙනෙකි. මෙම ඥති සම්බන්ධකම් පසුව වයඹ ප්‍රදේශය දක්‌වා ද ව්‍යාප්ත වූයේ ඉහත සඳහන් කළ සින්හාවෝ පින්හාවෝ සහ දෝන මරියා පෙරේරාගේ දුව එදිරිල්ලේ රාල යෑයි පසුව ප්‍රසිද්ධ වූ හලාවත ඩොමිංගෝ කොරයා විවාහ කර ගැනීමෙනි. අද රට එක්‌සේසත් කර ඇති යුගයේ පළමු බක්‌ බොහෝ දිනයෙහි අප කළ යුත්තේ අපේ පැරණි සබඳතා අලුත් කර ගනිමින් ශ්‍රී ලාංකික ජාතියක්‌ වශයෙන් පෙනී සිටීම මිස දෙමළ, මුස්‌ලිම්, මැලේ ආදී ජාතින් ලෙස පෙනී සිටීම නොවේ. ලංකාවේ පදිංචිකරුවන් වූයේ වයඹදිග ඉන්දීය තැනිතලාවෙන් බුද්ධ උත්පත්තියට පෙර මීට අවුරුදු ශත සහශ්‍රයකට ඉහතින් සංක්‍රමණය වූ ආර්ය වර්ගයාය. වෙළඳාම පිණිස මෙරටට පැමිණි ඉන්දු ආරිය වර්ගයා මිස ද්‍රවිඩයන් කිසිවිටක මෙරටට නොආ බව ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ සඳහන් කරයි.

Advertisements
This entry was posted in ඉතිහාසය, දේශපාලන, බෞද්ධ and tagged , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )