ජාතිය පිළිබඳ බෞද්ධ සංකල්පය

අප සිංහලයින් නොව ශ්‍රී ලාංකිකයින් වම්හයි උජාරුවෙන් තෙපලන උදවිය මේ ලිපිය කියවීම මැනවි. මේ වනාහි අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදයි. ඒ බටහිර අධ්‍යාපන ක්‍රමයට ‘පව්’ සිදු වන්නට, ප්‍රාථමික අධ්‍යාපනය සමග දෙමව්පියන් සහ ගෙදර ද, ද්විතීයීක අධ්‍යාපන සමග ගම ද, තෘතීක අධ්‍යාපන සමග රට ද ජාතිය ද එපා වෙයි.

 

පහත දැක්වෙන්නේ සිරි ධම්මරතන මහ පිරිවෙනේ ආචාර්ය, ගෞරව ශාස්‌ත්‍රවේදී, ශාස්‌ත්‍රපති දෙමටදෙණිකන්දේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ 09/09/06  දිනැති දිවයින පුවත්පතට ලියන ලද ලිපියකි.

 

=====================================================

ශාස්‌ත්‍රපති දෙමටදෙණිකන්දේ ධම්මජෝති හිමි (දිවයින – 09/09/06)

වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ ප්‍රබලව සාකච්ඡාවට බඳුන්ව ඇති කාරණාවකි “ජාතිය” පිළිබඳ අදහස. මෙහිදී මෙම ලිපියේ අරමුණ වන්නේ උක්‌ත අදහස සම්බන්ධයෙන් බෞද්ධ විචාරය දැක්‌වීමය. එමෙන්ම අප බහුලව දැන් දැන් භාවිත කරන බහු සංස්‌කෘතික, බහු ආගමික රටක්‌ය යන භාවිතය පිළිබඳව ද ඒ ඔස්‌සේ “ශ්‍රී ලාංකික” යන පදනම මත රට සංවර්ධනය කිරීමේ සංවාදය පිළිබඳ අදහසක්‌ දැක්‌වීමය.

 

ජාති වශයෙන් ගත් කල අප රට තුළ සිංහල, දෙමළ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, බර්ගර්, මැලේ ආදී විවිධ ජාතීහු වාසය කරති. ඒ බව තර්කයෙන් තොරය. එහෙත් ඉතිහාසය ඔස්‌සේ හෝ වේවා ජන සංඛ්‍යාලේඛන මත වුවද වැඩි ජන කොටසක්‌ මෙන්ම වැඩි ඓතිහාසික වගකීමක්‌ ඉටු කරන ලද පිරිස වන්නේ ද සිංහල බෞද්ධ ජනතාවය. එහෙයින්ම සිංහල දේශය, සිංහලයන්ගේ රට, බෞද්ධ රාජ්‍යය යන යෙදීම් මෙරට හැඳින්වීමේදී යොද ගැනිණි.

 

 

නමුත් වර්තමානය වන විට ජන නායකත්වය ද මෙම හැඳින්වීමට අස්‌ථානගත බියක්‌ දක්‌වමින් බහු ආගමික රටක්‌ වශයෙන් දැක්‌වීමේ උත්සාහයක නියෑළෙති. සිංහල බෞද්ධ රට යන යෙදුමට, ව්‍යවහාරයට අන්තවාදී අදහස්‌ දරන්නවුත් යෑයි ඝෝෂා කෙරෙති. මේ කරුණු මෙසේ වේවා මගේ උත්සාහය වන්නේ හරිහැටි අවබෝධයකින් තොරව “ජාතිය” යන වදන අර්ථ ගන්නවුන් උදෙසා එහි සැබෑ ප්‍රකාශනය කුමක්‌ද යන්න පෙන්නා දීමය. ඒ ඔස්‌සේ උක්‌ත කරුණු විචාරයට ලක්‌වීම මැනවි යෑයි මගේ හැඟීමය.

 

ජාති ශබ්දය පාලි ත්‍රිපිටකය තුළ අර්ථ රාශියක උපයුක්‌තව ඇත. ඉන් වඩාත් ප්‍රබල අර්ථය “උපත”, “පැවැත්ම” යන්නය. බුදු දහමේ මූලික ඉගැන්වීම් සියල්ලේම මෙම අර්ථයෙන් ජාති ශබ්දය යෙදී ඇත. දුක්‌ඛ සත්‍යය විස්‌තර කරන තැන ජාති පිළිබඳ ජාතිපි දුක්‌ඛා යනුවෙන් ද පටිච්ච සමුප්පාදය විස්‌තර කරන තැන “භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං” යනුවෙන් ද යෙදී ඇත. මේ සම්බන්ධයෙන් ජාති ශබ්දයෙන් ගම්‍ය වන්නේ මනෝ විද්‍යාත්මක සාධකයකි.

 

මෙම අදහස මුල් බුදු සමය තුළ කෙතරම් ප්‍රබලව සාකච්ඡා කරන්නේ ද යත් ජාති ශබ්දයේ අවශේෂ අර්ථ යටපත්වීමට එය බලපා ඇත. සාමාජික වශයෙන් එය සලකන කල එහි අර්ථ තුනක්‌ ඇත. මහාචාර්ය මලලසේකර සහ ජයතිලක යන අය පෙන්වාදී ඇති පරිදි ජාති ශබ්දයේ “විශේෂය” යන අර්ථය ඇත. ඊට අමතරව එහි “වර්ණය” යන අර්ථය ඇත. උදාහරණ ලෙස සූත්‍රවල එන බ්‍රාහ්මණ ජාති, ඛත්තිය ජාති වැනි ප්‍රයෝග ඉදිරිපත් කළ හැක. තුනෙන්ම ජාති ශබ්දයේ “ජන වර්ගය” යන අර්ථය ඇත. අද අප සිංහල ජාතිය, ද්‍රවිඩ ජාතිය යන ක්‍රමයෙන් ව්‍යවහාර කරන තැන්වල එම ජාති ශබ්දයේ අර්ථයට සමාන අර්ථයකින් එම පදය සූත්‍රවල යෙදී ඇත.

 

බුද්ධකාලීන සමාජය ගෝත්‍ර සහ රාජ්‍ය වශයෙන් බෙදී තිබුණු බව අපි දනිමු. සූත්‍රවල බුද්ධ කාලයේ විසූ ගෝත්‍ර දහයක්‌ ගැන කරුණු සඳහන් වෙයි. ඔවුන් ගණතන්ත්‍ර පාලන ක්‍රමයට අවනතව සිටි බව දක්‌වා ඇත. ඊට අමතරව රාජ්‍ය දහසයක්‌ පිළිබඳ තොරතුරු ද සූත්‍ර පිටකයේ සංග්‍රහ වී ඇත. මේ ගෝත්‍රවලට අයත් ජනතාව ද රාජ්‍යවලට අයත් ජනතාවද ජන වර්ග හැටියට හඳුනාගෙන තිබුණු බව පෙනේ. ගෝත්‍රවලට සහ රාජ්‍යවලට නම් ලැබී ඇත්තේ ඒවාට අයත් ජන වර්ග අනුවය. ශාක්‍ය, ලිච්ඡවි, කාලාම, අංග, මගධ ආදී සියලු නම් ජනවාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන පදය. දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ මුළු මහත් භාරතය එකම රාජ්‍යයක්‌ හැටියට පැවැති යුගයක්‌ ගැන සඳහන් වෙයි. පසුව එය රාජ්‍ය හතකට වෙන්වී ගියේය. එසේ වෙන් වූ පසු ඒ ඒ රාජ්‍යයේ නම ද අගනුවර කවරක්‌ විනිදැයි එම සූත්‍රයේ සඳහන් වෙයි. අලුතෙන් පහළ වූ රාජ්‍ය හත බෙදා වෙන් කෙරුණේ ජනවාර්ගික පදනමක්‌ මත බව එහිදී වැඩිදුරටත් විස්‌තර කෙරේ. මේ රාජ්‍ය හතෙන් හයක්‌ උතුරු ඉන්දියාවේ ද, එකක්‌ දකුණු ඉන්දියාවේ ද වූ බව කියෑවේ. දකුණු ඉන්දියාවේ ඇතිවූ රාජ්‍ය අස්‌සකයන්ගේ රට යන අර්ථයෙන් අස්‌සක නම්ය.

 

සූත්‍රවල රාජ්‍යයක්‌ පහළවීමට අවශ්‍ය කරුණු දෙකක්‌ සඳහන් වෙයි. ඉන් එකක්‌ නම් ජන වර්ගයක වාස භූමියයි. එනම් භූගෝලීය ප්‍රදේශයක්‌ රාජ්‍යයක නිර්මාණය සඳහා අත්‍යවශ්‍යය. අංගයන්ගේ රට අංග, වත්සයන්ගේ රට වත්ස යන ආදී ක්‍රමයටය. අනෙක නම් භාෂාවයි. භාෂාව හැඳින්වීමට සූත්‍රවල පද දෙකක්‌ ව්‍යවහාර වෙයි. ඉන් එකක්‌ “ජනපද නිරුක්‌ති” යන්නයි. අනෙක, සක නිරුක්‌ති යන්නයි. මේ දෙකෙන්ම කියෑවෙන්නේ ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස හඳුනාගත් පිරිසකගේ භාෂාවයි. අංගයන්ගේ භාෂාව අංග,

 

මගධයන්ගේ භාෂාව මගධ යන ආදී ක්‍රමයෙන්ය. රාජ්‍යය එහි භාෂාව යන දෙක කෙනකුට උරුම වන්නේ උපතින්ය. එම නිසා ඒවා වාසෙට්‌ඨ සූත්‍රයේ එන “ලිංගං ජාති මයං” සංඛ්‍යාවෙහිලා වර්ග කළ හැකිය. (ඒ ඒ විශේෂයට උපතින් උරුම වන ලක්‍ෂණ ලිංගං ජාතිමයං යෑයි දක්‌වා ඇත) එක්‌ එක්‌ මිනිසාට එවැන්නක්‌ නැති වුවත් ජන වර්ගයක්‌ හැටියට සැලකීමේදී එවැනි අංගයක්‌ හෝ දෙකක්‌ ඇති බව පෙනෙන හෙයින් වාසෙට්‌ඨ සූත්‍රයේදී ජන වර්ග වර්ගීකරණය ප්‍රතික්‍ෂේප නොවන බව පෙනේ.

 

එවැනි බෙදුම් මිනිස්‌ සමාජයේ පවතින බව වාසෙට්‌ඨ සූත්‍රයේ එන “සමඤ්Æහි එසා ලෝක ස්‌මිං තFථ තFථ පකප්පිතා” යන යෙදුමෙන් පැහැදිලි වෙයි. මෙහිදී සිහියට ගත යුත්තක්‌ නම් ඉන්දු නිම්නයේ පැවැති චතුර්වර්ණය වෙනුවට ඊට වඩා ප්‍රබල වර්ගීකරණයක්‌ ගංගා නදී මිටියාවතේදී ඇති වූ බවයි. “ගෝත්‍ර සහ රාජ්‍යය” යනුවෙන් හැඳින්වෙන්නේ ඒවාය. බුදුරජාණන් වහන්සේ මුල්තැන දුන්නේ මේ කියන අනන්‍යතා දෙක අගය කළ සමාජයකටය. එම නිසා බුදු දහම මගින් චතුර්වර්ණය පිළිබඳ විවේචනයක්‌ ඉදිරිපත් කිරීම ස්‌වාභාවිකය.

 

ජන වර්ග අනන්‍යතාව පිළිබඳ බුදුදහම දක්‌වන ආකල්පය තේරුම් ගැනීමට අදාළ වන සූත්‍ර තුනක්‌ ඇත. ඒවා නම් දීඝ. නි( අම්බට්‌ඨ සූත්‍රය, සුත්ත නිපාතයේ පබ්බඡ්ජා සූත්‍රය සහ මඡ්ඣිම නිකායේ ධම්මෙච්තිය සූත්‍රයයි.

 

දීඝ නිකායේ අම්බට්‌ඨ සූත්‍රය අම්බට්‌ඨ නම් තරුණ බමුණකුත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවූ සංවාදයක්‌ අරමුණුකොට ගෙන දෙසන ලදී. අම්බට්‌ඨ බමුණුකමෙන් ඔද වැඩුණු උගත්කමින් සපිරුණු තරුණයෙකි. එම නිසා ඔහු බුදුරදුන්ට නිසි ගෞරවයක්‌ දැක්‌වූයේ නැත. මේ අවස්‌ථාවේදී බ්‍රාහ්මණ වර්ණයේ අතීත තොරතුරු මතක්‌ කරදීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූ සේක. ඉන් කිපුණු අම්බට්‌ඨ ශාක්‍ය වංශයට පරිභව කළේය. තමා කපිල වස්‌තුවට ගිය අවස්‌ථාවක ශාක්‍යයන් තමාගේ තත්ත්වයට නොසරුප් වන අන්දමින් හැසිරුණු වග අම්බට්‌ඨ මෙහිදී බුදුරදුන්ට ප්‍රකාශ කරයි. එහිදී අම්බට්‌ඨ ව්‍යවහාර කරන පදය “ශාක්‍ය ජාති” යන්නයි. ශාක්‍ය ජාතිය සැඩපරුෂ කුරිරු ජාතියක්‌ බව අම්බට්‌ඨගේ ස්‌ථාවරය විය. බුදුන් වහන්සේ ශාක්‍යයන්ගේ හැසිරීම අනුමත කරමින් කරුණු පැහැදිලි කළහ.

 

කිරිල්ලියකට තමාගේ කැදැල්ලේ දී ඕනෑම ආකාරයකින් හැඬලිය හැකි සේ ශාක්‍යයන්ට තමාගේ රුචි අරුචිකම් සහ ඕනෑ එපාකම් අනුව කපිල වස්‌තුවේදී හැසිරිය හැකි බව බුදුන් වහන්සේ අම්බට්‌ඨට කියා දෙති. මෙහිදී වැදගත් වන කාරණය නම් ශාක්‍ය ජාති, එනම් ශාක්‍ය යන ජන වර්ගය ගැන කතා කිරීම නුසුදුසු යෑයි බුදුන් වහන්සේ පෙන්වා නොදුන් බවයි. සියල්ලට ඉහළින් මනුෂ්‍යත්වය ගැන සැලකූ කෙනකුගෙන් බලාපොරොත්තු වන මෙබඳු ප්‍රකාශයෙන් මේ අවස්‌ථාවේදී බුදුන්ගෙන් ප්‍රකට වූයේ නැත. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කර සිටින්නේ ඕනෑම ජන වර්ගයක්‌ තුළ තිබිය හැකි සාධකයක්‌ ශාක්‍යයන් තුළ ද පවතින බවය. එය හඳුන්වා ඇත්තේ “ජාති සම්බේද භය” යන පදයෙනි. ජන වර්ගය තුළ භේද හට ගනීය යන භය සෑම ජන වර්ගයකටම පොදු කාරණයකි. ජන වර්ගවල හැසිරීම් තීරණය කිරීමේදී උපයෝගී කරගත යුතු කරුණක්‌ හැටියට එය දක්‌වා ඇත. ජන වර්ගයක්‌ ඇතැම්විට හැසිරෙන්නේ තර්කානුකූල හේතු සාධක අනුව නොව මේ කියන බිය නිසාය.

 

සුත්ත නිපාතයේ පබ්බඡ්ජා සූත්‍රය බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමේදී වැදගත් වෙයි. ඊට හේතුව අංග සම්පූර්ණ බුද්ධ චරිතයක්‌ පාලි ත්‍රිපිටකය තුළ දක්‌නට නොලැබීමත් බුද්ධ චරිතය ගොඩනඟා ගත යුත්තේ ත්‍රිපිටකයේ තැනින් තැන විසිරී පවතින කරුණු එක්‌තැන් කරගැනීම අනුවත් වීමය. සුත්ත නිපාතය ත්‍රිපිටකයේ එන පැරණිම සූත්‍ර සංග්‍රහ වී ඇති ග්‍රන්ථය සේ සැලකේ. එහි එන ප්‍රධාන සූත්‍රයත් පබ්බඡ්ජා සූත්‍රයත් යන දෙක බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමෙන් වැදගත් වන්නේ මේ තත්ත්වය යටතේ අභිනික්‌මන් කළ සිදුහත් කුමරු තාපසයකු බවට උත්තර භාරතය පුරා සැරිසරණ අතර මගධ රාජ්‍යයට පැමිණි වග දක්‌වා ඇත්තේ පබ්බඡ්ජා සූත්‍රයේ වීමය. තම රාජ්‍යයේ හැසිරෙන අමුත්තා කවරෙක්‌දැයි දැන ගැනීමට මගධාධිපති සේනිය බිම්බිසාරට ඕනෑ විය. දූතයන් යවා සිදුහත් තවුසා තමා සමීපයට කැඳවන බිම්සර රජතුමා ඔහුට මෙසේ කියයි.

 

“ඔබේ ජාතිය ඇසූ විට එය මට කියාදෙන්න.” (ජාතිං අක්‌ඛාහි පුච්ජිතෝ) එවිට සිදුහත් තාපසයන් කියා සිටින්නේ තමා කොසලයට අයත් ශාක්‍ය ජාතියෙන් එන බවය. (උජුං ජනපදො ආසී කෝසලෙසු නිකේතිනං ගෝතමෝ නාම ගොත්තෙන ශකියා නාම ජාතියං) මෙහිදී සිදුහත් තාපසයා තමා හඳුන්වා දෙන්නේ කෝසළ දේශයත් ගෞතම ගෝත්‍රයත් ශාක්‍ය ජාතියත් මතක්‌ කිරීමෙනි. ජන වාර්ගික අනන්‍යතාව පිළිබඳ හැඟීමක්‌ සිදුහත් තාපසයාට තිබුණු බව මින් පෙනේ. බුදු වූ පසු එක්‌ තැනකදී උන්වහන්සේ කියා සිටින්නේ කෙනකුගේ ජාතිය නොව හැසිරීම ඇසිය යුතු බවයි. (මා ජාතීව ප්‍රච්ඡ චරනංච පුච්ඡ) එහෙත් සිදුහත් තවුසා, බිම්සර රජතුමා ජාතිය ගැන විමසන විට කියා සිටින්නේ තමා මිනිස්‌ වර්ගයට අයත් කෙනකු හැටියට නොව ශාක්‍ය ජාතියට අයත් කෙනකු හැටියට පෙනී සිටින බවය. බුදු වූ පසුද ඇතැම් අවස්‌ථාවල බුදුන් වහන්සේ ජන වාර්ගික අනන්‍යතාව අමතක නොකළ බව මඡ්. නි. ධම්මෙච්තිය සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

 

ධම්ම චේතිය යන පදය ධර්මානුකූලව ඉදිරිපත් කරන ශාක්‍යය යන අර්ථය දෙන්නකි. එය සත්‍යයේ සාධක යනුවෙන් ද පරිවර්තනය කළ හැක. ධම්ම චේතිය සූත්‍රයේ සඳහන් වන්නේ ටික කලකින් බුදුරදුන් මුණ ගැසීමට අවස්‌ථාව නොලද කොසොල් රජතුමා බුදුරදුන් මුණගැසුණු අවස්‌ථාවේ කියා සිටි කරුණුය. විවිධ මාතෘකා මතකයට නංවමින් කතා කළ කොසොල් රජතුමා අවසානයේදී ප්‍රකාශ කළ ධර්ම චෛත්‍ය නම් මම ද කොසොල් වැසියෙකි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් වැසියෙකි.

 

මම ද ක්‍ෂත්‍රියය. භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියය. මම ද අසූ වයස්‌ය. භාග්‍යවතුන් වහන්සේ ද අසූ වයස්‌ය යන්නය. මෙහිදී බුදුන් වහන්සේත්, කොසොල් රජුත් අතර පැවති සමානකම් තුනක්‌ පෙන්වා දේ. ඒවා නම් දෙදෙනාම කෝසළයේ පුරවැසියන් වීම, දෙදෙනාම ක්‍ෂත්‍රියයන් වීම හා දෙදෙනාම අසූ වයස්‌ වීමය. මෙහිදී බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ තමන් වහන්සේ අතරත් පුහුදුන් තැනැත්තකු වූ කොසොල් රජු අතරත් සමානත්වයක්‌ පළ කිරීම සම්බන්ධයෙන් උදහස්‌ නොවූ සේක.

 

ඉහත දැක්‌වූ ප්‍රකාශ තුන කියා අසුනෙන් නැඟිට බුදුන්ට වැඳ පිටත්ව ගියහ. කොසොල් රජතුමා භික්‍ෂුන්ට පෙන්වා අර බලන්න ධර්ම චෛත්‍යය දක්‌වා කොසොල් රජතුමා යන සැටි යෑයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව සූත්‍රයේ සඳහන් වෙයි. එපමණකුදු නොව, කොසොල් රජතුමා කී කරුණු මතක තබාගැනීමට, ඉගෙන ගැනීමට, අධ්‍යයනය කිරීමට උත්සුක වන්නැයි ද කියා බුදුන් වහන්සේ භික්‍ෂුන්ගෙන් ඉල්ලා සිටිති. මෙහිදී උග්ගණ්‌හාථ, ධාරේථ, පරියාපුනාථ යන පද තුන දක්‌වා ඇත.

 

බුදුන් වහන්සේගේ ජනවාර්ගික අනන්‍යතාව මේ අන්දමට අවධානය යොමු කළ යුතු කාරණයක්‌ හැටියට ධම්ම චේතිය සූත්‍රයේදී දක්‌වා ඇත. එය “අ‍ර්ථ සංහිතං/ආදී බ්‍රහ්මචරිතං” යන පද දෙකෙන් ද වර්ණනා කොට ඇත. ප්‍රතිඵල ගෙන දෙන, බ්‍රහ්මචර්යට නැඹුරු වූ කරුණු හැටියට මෙහි දක්‌වා ඇත්තේ බුදුන් වහන්සේ සහ කොසොල් රජ යන දෙදෙනාම කෝසල වංශිකයන්වීමත්, ක්‍ෂත්‍රියන්වීමත් අසූවියෙහි පසුවීමත්ය.

 

ජනවාර්ගික පදනම බැහැර කළ මනුෂ්‍යත්වය පමණක්‌ පිළිගත් කෙනකුගේ ප්‍රතිචාරයක්‌ හැටියට මේ තත්ත්වය හඳුනාගත නොහැකිය.

 

අංගුත්තර නිකායේ තික නිපාතයේ සූත්‍රයක්‌ අපගේ ප්‍රස්‌තුතයට බෙහෙවින් අදාළ වෙයි. එහි දක්‌නට ලැබෙන්නේ උපක්‌කිලෙස පිළිබඳ විස්‌තරයකි. උපක්‌කිලෙස වර්ග තුනක්‌ ඇතැයි බුදුන් වහන්සේ එහිදී ප්‍රකාශ කරති. ඒවා නම් ඕලාරීකා උපක්‌කිලෙසා, මඡ්ඣිමිකා උපක්‌කිලෙසා, සුඛුමා උපක්‌කිලෙසා ය. ඕලාරික උපක්‌කිලෙස නම් කාය දුෂ්චරිත, වාචි දුෂ්චරිත සහ මනෝ දුෂ්චරිතය. දස අකුසල් වශයෙන් ගණන් ගැනෙන්නේ ද මේවාය. කයෙන් කෙරෙන වැරදි තුනකුත්, වචනයෙන් කෙරෙන වැරදි හතරකුත්, සිතින් කෙරෙන වැරදි තුනකුත් මෙහිලා ගණන් ගැනේ. මේවා පහසුවෙන් දුරු කළ හැකි උපක්‌කිලෙස ලෙස දක්‌වා ඇත.

 

මධ්‍යම උපක්‌කිලෙස නම් කාම විතක්‌ක, ව්‍යාපාද විතක්‌ක සහ විහිංසා විතක්‌කය. ඉඳුරන් පිනවීම හා සබැඳි සිතිවිලි, ද්වේශය හා සබැඳි සිතිවිලි හා අන් අයට කරදර කිරීම සබැඳි සිතිවිලිය මින් අදහස්‌ කරන්නේ. මෙම සිතිවිලි වලින් නිදහස්‌වීම වඩා අසීරුය. කෙනකුට දුරු කිරීමට වඩාත්ම අපහසු සූක්‍ෂම උපක්‌කිලෙසය. එවැනි උපක්‌කිලෙස තුනකි. ජාති/ජනපද/අවඤ්ඤත්තිය යන්නයි.

 

මෙයින් පෙනී යන්නේ ජනවාර්ගික හැඟීම සහ රට පිළිබඳ හැඟීම යන පද මිනිස්‌ සන්තානයේ ගැඹුරෙන් පවතින කරුණු බවය. අවඤ්ඤත්ති යනුවෙන් අදහස්‌ කරන්නේ මමය, මාගේ යෑයි ගත් දේය. ජාතිය සහ ජනපද යන දෙකද මිනිසා මමය මාගේ යෑයි කියාගත් කරුණු අතරට එකතු වෙයි. මේ අනුව ජාතිය පිළිබඳ, රට පිළිබඳ හැඟීමක්‌ නැතැයි කිසියම් පුහුදුන් පුද්ගලයෙක්‌ කියා සිටින්නේ නම් ඔහු කරන්නේ තමාම රවටා ගැනීමය. ඒවායේ නිදහස්‌ වූ මානසික තත්ත්වයක්‌ යමෙකුට ඇති කරගත හැකි නම් ඔහු අවශ්‍යයෙන්ම රහතන් වහන්සේ කෙනෙක්‌ බව කිය යුතුය.

 

මේ කරුණුවලින් පෙනී යන්නේ අප මානව සංහතියේ ඒකත්වයක්‌ කතා කළ ද ජනවාර්ගික අනන්‍යතාව ඉන් ප්‍රතික්‍ෂේප කිරීම අදාළ නොවන කරුණක්‌ බවය. සිංහලයන් සිංහල ජාතියත්, බෞද්ධකමත් ඉදිරියට ගැනීම, කතා කිරීම වලංගු නැතැයි කියන්නට ද අන්තවාදීන් යෑයි නම් කරන්නට ද හේතු නැත. අන් ජාතීන් ද තම ජාතිය පිළිබඳ කතා කිරීම ගැටලුවක්‌ නොවේ. ගැටලුව වන්නේ තම ජාතිය හඟවා පොදු ජාතියක්‌ ගැන කතා කරන්නට උත්සාහ ගැනීමය.

 

පොදු ජාතිය තුළ සිංහල ජාතිය ප්‍රධානවීම ගැන කතා කිරීම වැරදි සහගත නොවේ. මන්ද, අන් අයට ද එය එසේ වන හෙයිනි. තම තමන්ගේ ජාතිය පිළිබඳ ප්‍රකාශ කිරීම වළක්‌වාලිය හැක්‌කක්‌ නොවේ. ශ්‍රී ලාංකික යන ව්‍යවහාරය භාවිතයේ වරදක්‌ නැත. එනමුදු ඒ ඔස්‌සේ සිංහල ජාතිය යෑයි සඳහන් කිරීමට බියවීම දීන වූත්, අධම වූත් පිළිවෙතකි. වරද ඇත්තේ එතැනය. ඒ ශ්‍රී ලාංකික යන ව්‍යවහාරය තුළ සිංහල ජාතිය යන්න අමතක කර දැමීමට ඇතැමුන් උත්සාහ කිරීමය.

Advertisements
This entry was posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, සිංහල and tagged , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )