ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 03

මිගෙට්ටුවත්තේ නාහිමියන්ගෙන් ලද අභාෂය..!

අනගාරික ධර්මපාලතුමාගේ ජාතික චරිතය හැඩගැස්වූ ප්‍රමුඛ පුද්ගලයෝ තිදෙනෙක් වෙති. හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ, ගුණානන්ද, කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කට් ඒ තිදෙනා වේ. මේ අතරින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ වඩාත්ම සටන්කාමී චරිතය වූ අතර, බෞද්ධයන්ගේ ප්‍රබල ප්‍රකාශකයාද, කතෝලිකයන්ගේ ප්‍රමුඛ විරුද්ධවාදියාද වූහ. උන්වහන්සේගේ පෙනුම පවා රණකාමී වූ බව කියැවේ. ඔල්කට්තුමා, ගුණානන්ද හිමියන් ගැන ලියා ඇති විස්තරයක් මෙසේය.

‘සත්කීර්තිමත් මිගෙට්ටුවත්තේ හිමි, බොහෝ බුද්ධිමත් හිසකින්ද, කාන්තිමත් නෙතකින්ද, සම්පූර්ණ ආත්ම විශ්වාසයකින් හා සුපරීක්ෂාකාරීත්වයකින් සැදි පෙනුමකින්ද යුතු වූ භික්ෂුවක් විය. ධ්‍යානයෙහි ඇලුණු සමහර භික්ෂූන් වහන්සේලා යමකු සමඟ කථා කරන විට, පුරුද්දක් වශයෙන් සිය නෙත් පහළ හෙළති. එහෙත් මේ ස්වාමීන් වහන්සේ තමන් ඉදිරිපිට සිටි අයගේ මුහුණ දෙස සෘජුව බැලීමට පුරුදුව සිටියේය. එය, දිවයිනේ ඉතාම විචක්ෂණ විවාදක වාදීභසිංහයා හා මිශනාරීවරුන්ට මහත් භීතියක් ගෙන දුන් තැනැත්තා වශයෙන්, ඔහුට යෝග්‍ය වූ ගුණාංගයකි. ඔහු ශ්‍රමණයකුට වඩා කළහකාරයකු වූ බැව් බැලූ බැල්මට ම පෙනෙන්නට තිබිණ. ඔහු සිංහල බෞද්ධයන් වෙනුවෙන් නැගී සිටි, ඉතාම නිර්භීත, ඉතාම දක්ෂ හා බලගතු සටන්කරුවා වූයේය.’

ගුණානන්ද හිමියන් කොළඹට වැඩම කරන විට කොළඹ ප්‍රදේශයේ තිබී ඇත්තේ පන්සල් තුනක් පමණි. එසේම මුළු මහත් ප්‍රදේශයම අබෞද්ධයන්ගෙන් පිරී පැවතිණ. කොළඹ පළමු වර පිණ්ඩපාතයේ වැඩම කර ඇත්තේ ගුණානන්ද හිමියන් විසින් බව කියැවේ. එහිදී අබෞද්ධයන් විසින් උන්වහන්සේට නොයෙකුත් තාඩන පීඩන කර ඇති අතර, පාත්‍රයට මාළු කටු, බිලී කටු මෙන්ම ගොමතැබ්බක් බෙදූ බව සඳහන් වේ.

‘පානදුරා වාදය’ ගුණානන්ද හිමියන් වඩාත් සුප්‍රසිද්ධියට පත් කළ ඓතිහාසික සංසිද්ධිය යි. බුද්ධාගම අසත්‍ය ආගමක් ලෙස හෙළ දකිමින් පානදුරේ වෙස්ලියානු දේවස්ථානයේ ඩේවිඩ් ද සිල්වා පූජකතුමා කළ ප්‍රකාශයක් මේ විවාදයට මුල් වී තිබේ. මීට පිළිතුරු සැපයීමේ අභියෝගය නිර්භයව භාර ගත්තේ ගුණානන්ද හිමියන් විසින්. මේ සුප්‍රකට විවාදය සඳහා වාද භූමිය සැරසූ අන්දම 1873 අගෝස්තු 26 වැනි දින ‘ලක්රිවි කිරණ’ පුවත්පතේ මෙසේ වාර්තා කර තිබේ.

‘පහුවුණු අඟහරුවාදා පානදුරේදී බුද්ධගම්කාරයන් සමඟ රෙපරමාදුකාරයන් අතරේ කෙරුණු ආගම්වාදය ඉතා අලංකාරව තිබුණේය. වාද කිරීමට පටන් ගැනීමට නියම කර තිබුණු වේලාව උදේ අටටය. ඊට බොහෝ වේලාසන සිටන් හැතැප්ම දහතුනේ කණුව ඉදිරිපිට තිබෙන පාර දිගේ දහස් ගණන් සෙනඟ විත් වාද භූමියට රැස්වූවේය. පස්දුන් කෝරලයේ, රයිගම් කෝරලේ සහ හල්පිට කෝරලේ සෙනඟද බුද්ධාගමේ අති දක්ෂ වාදකාරයෙක් කියන මිගෙට්ටුවත්තේ උන්වහන්සේ වෙනුවට තමන්ගේ ජීවිතය පවා දීමට කැමතිව පට සරොම් ඇඳගෙන කොළඹින් ගිය සිංහල ඉලන්දාරි ස්වල්පයක්ද සිටියේය.

රෙපරමාදු පක්ෂයත් තරමක් බලවත්ව තිබුණේය. බැප්ටිස්ට් වැස්ලියන්, මිෂයොනාරිස් යනාදී සෑම සභාවලට අයත් නොයෙක් පළාත්වල සිටින පාදිලිවරු සහ කතිසේරුවන් සඳුදා පටන් රැස්වන්නට පටන් ගත්තේය. මෙම තැනැත්තන් අතරෙන් පූර්ව දිග භාෂාවලට සමර්ථයෙක් තමන්ට තිබුණු වැඩපළත් අතහැර දමා මෙම වාදයට පංගුකාරයෙක් වී රෙපරමාදු පක්ෂයේ කතාකාරයෙක් වන දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේට උදව් වෙනු පිණිස අනුරාධපුරයෙන් ඇවිත් සිටියේ.

මෙම වාදය පිනිස අඩි ස්වල්පයක් උසට ආසන දෙකක් ඇතිව අතු සෙවිලි කරන ලද කදිම බංගලාවක් සාදා තිබුණේය. එයින් ආසනේක දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ සහ නාමයෙන් ප්‍රසිද්ධව සිටින මිගෙට්ටුවත්තේ ගුණානන්ද උන්නාන්සේ සහ තවත් මහණුන් වහන්සේලා දෙසීයක්ද සිටියෝය. මෙම බංගලාව බොහෝ අලංකාර ලෙස සරසා තිබුණේය. මේස පුටු සුදු රෙදි දමා උඩු වියන් බැඳ නීලවරණ සාටකවලින් සැරසිලි කර තිබුණි.

බුද්ධාගම් පක්ෂය සිටින කොට්ඨාසය ඊටත් වඩා අලංකාර පාටකට තිබුණි. මේසවලට දමන ඩැමැස්කස් කියන රෙදි වර්ගය මේසවලට දමා ප්‍රන්සකාරයන්ගේ පාට තුනේ කොඩියේ අන්දම මහත් වී යන ප්‍රකාර උඩුවියනක්ද නොයෙක් පාටවලින් විසිතුරු කරන ලද මල්මාලාවලින්ද ඒ හැර උන්නාන්සේලාගේ පට සිවුරුවලින්ද අලංකාරව තිබුණේය.’

වාද භූමියට පැමිණෙමින් සිටියදී ගුණානන්ද හිමියන්ගේ ජීවිතයට හානියක් කිරීමට කුමන්ත්‍රණයක් පැවතුණ නිසා උන්වහන්සේ එහි පැමිණ ඇත්තේ කරත්තකරුවෙකු ලෙස වෙස් වළාගෙන බව සඳහන් වේ. වාදයේදී අතිශය දක්ෂ ලෙසත් ව්‍යක්ත ලෙසත් කරුණු දැක්වූ ගුණානන්ද හිමියෝ බෞද්ධ පක්ෂයට ජය අත්කර දුන්හ. මේ පිළිබඳ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ කර්තෘ ජෝන් කැපර් ලියා ඇති විස්තරයක් මෙසේය.

‘කතෝලිකයන් මහජනයාට තේරුම් ගැනීමට අමාරු ගූඪ තර්ක ඉදිරිපත් කරමින් පාලි පාඨ උපුටා දක්වන විට ගුණානන්ද හිමියන් මහ ජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි සරල සිංහලෙන් කතා කළේය. ගුණානන්ද හිමි ප්‍රොතෙස්තන්ත වාදයේ සියලු දුබල තැන් අතුරෙන් අල්ලා ගත්තේ මහජනයාගේ සමච්චලය අවුස්සන හා උපහාසාත්මක පිළිකුලෙන් යුතුව සිනහ පහළ කරන තැන් පමණය. තර්ක සාරාංශ කරමින් කරන ලද කතාවේ අවසන් කොටසට මහජනතාව අවධානයෙන් යුතුව සවන් දුන්නේය. කතාව අවසන් කිරීමෙන් විනාඩි ගණනකට පසුත් ඔහුගේ කතාවේ ගැඹුරු ස්වරය ඔවුන්ගේ කන් තුළ රැව් දුන්නේය.’

ගුණානන්ද හිමියෝ ධර්මපාල තුමාගේ පවුලේ මිතුරෙකු වූහ. උන්වහන්සේගේ නිර්භය, අදීන, උජුපටිපන්න භාවය ධර්මපාල චරිතය හැඩ ගැස්වීමෙහිලා ප්‍රමුඛ බලපෑමක් කළ බව පැහැදිලිය.

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

Advertisements
This entry was posted in Uncategorized and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )