ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 04

ඕල්කට් තුමාගේ භූමිකාව..!

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්, ධර්මපාලතුමා විසින් සලකන ලද්දේ සිය ගුරුවරයෙකු හා කල්‍යාණ මිත්‍රයෙකු වශයෙනි. ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන විට 16 වන වියේ පසු වූ ධර්මපාල, සිය ජාතික මෙහෙවර ආරම්භ කරනු ලබන්නේ ඕල්කට්තුමාගේ අනුගාමිකයෙකු වශයෙනි. බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම්ලා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ඕල්කට්තුමා සමඟ එක්ව කළ සංචාරය ධර්මපාලගෙ දිගු ගමන් මඟේ ආරම්භක පියවර වූ බව පෙනේ. මේ සඳහා තරුණ ධර්මපාල ඉදිරිපත් වූයේ සිය රැකියාවෙන් තෙමසක නිවාඩුවක්ද ලබා ගනිමිනි. ඕල්කට්තුමාගේ දේශන සිංහලයට පරිවර්තනය කිරීම ඔහුට පැවරුණු කාර්යභාරයයි.

‘සෙන්පති ඕල්කට්තුමාත්, ලෙඩ්බීටර් මහතාත්, මමත් ඔහුගේ රථයෙන් චාරිකාවට පිටත් වීමු. ඒ රථයෙහි තට්ටු දෙකක් විය. ඉහළ තට්ටුවේ ඒ දෙදෙනා නිදාගත් අතර, පහළ තට්ටුවෙහි මම නිදා ගත්තෙමි. මාස දෙකක කාලයක් තිස්සේ අපි අහිගුණ්ඪක ජීවිත ගත කළෙමු.’

මේ ගමන් බිමන්වලදී ඕල්කට්තුමාට රජෙකුට බඳු සැලකිලි හිමි වූ බව පෙනේ. ඕල්කට්තුමාට බෞද්ධයන් විසින් කෙතරම් ගරු සත්කාර පුද කළේද යන්න පැහැදිලි වන්නේ ඔහු ලංකාවට පැමිණි වෙලේ ගාල්ලේ ධනවත් බෞද්ධයෙකු වූ සයිමන් පෙරේරා අබේවර්ධන පැවැත්වූ භෝජන සංග්‍රහය දෙස බලන විටය. ඒ භෝජන සංග්‍රහයට ව්‍යංජන 57ක් පිළියෙළ කොට තිබූ බවත්, විවිධ බත් වර්ග සාදා තිබූ බවත් සඳහන් වේ.

ඕල්කට්තුමා සමඟ කළ මේ සංචාරය අනගාරික ධර්මපාලතුමාගේ අසහාය ජීවන චර්යාවේ ආරම්භය වූවා පමණක් නොව මෙරට ස්වදේශික ජනයා වැටී සිටි අන්ධකාර තත්ත්වය අවබෝධ කර ගැනීමේලා ඔහු ලද මහඟු අවස්ථාවක්ද වූයේය. මේ සංචාරය, ධර්මපාලතුමා තුළ ඇති කළ පරිවර්තනය සහ ජනිත කළ නව බලාපොරොත්තු පිළිබඳ අගනා විග්‍රහයක් ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් කර තිබේ.

‘ලක පුරා එතුමා කළ සංචාරය නෙත් අරවන්නක් විය. පාරවල්, නිවාස, පාසල් හෝ ආරෝග්‍යශාලා නොමැතිව සැලකිල්ලෙන් තොරව දිළිඳු බවින් පෙළෙමින් ඈත පෙදෙස්වල විසූ ගැමියන් ඇසුරින් ජීවිතයේ අඳුරු යථා තත්ත්වයන් පළමු වරට දැක ගැනීමට මේ චාරිකාවලදී එතුමාට හැකි විය. ජාතියක ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ නාගරික පවුල් කිහිපයක සෞභාග්‍යය හා සුව පහසුව මත නොව ජාතියේ කොඳු ඇටය ව පවත්නා මහජනකායගේ ප්‍රීතිය හා තෘප්තිය මත බව එතුමාට ප්‍රත්‍යක්ෂ විය. නිදහස ලබා ගැනීමේ අවශ්‍යතාව එතුමා වටහා ගත්තේ ය. එමඟින් ජාතික උරුමයක් විශාල වූත්, ප්‍රබල වූත් ප්‍රතිලාභ අගය කිරීමට සැරසීමක් හෝ කැමැත්තක් හෝ නොදැක්වූ යටත්විජිත ස්වාමීන් විසින් හෙළා දැකීමක් හෝ පාගා දමනු ලැබීමක් හෝ නොලබා මහජනතාවට තමන්ගේ ඉරණමට මඟ දැක්විය හැකි විය. ලංකාව නිදහස ලබන්නා වූත්, මහජනතාවගේ ආගම එහි අතීත ශ්‍රී විභූතියට පත් වන්නා වූත්, සිංහල සංස්කෘතියේ චාම් වූත්, නොකිලිටි වූත්, ස්වභවයන් අගයනු ලබන්නා වූ හා තාක්ෂණික ප්‍රතිලාභයන්හි ප්‍රබුද්ධ ලෙස සහභාගි වන්නා වූත් දිනය පිළිබඳව එතුමා සිහින දකින්නට විය. මේ අරමුණ සිත්හි තබා ගත් එතුමා නො නවත්නා කාර්යවලින් පිරි ජීවිතයක් ඇරඹීය. උසස් බ්‍රිතාන්‍ය නිලධරයකුට යැවූ ලිපියක එතුමා මෙලෙස සඳහන් කළේය. ‘මා කාර්යශීලී විය යුතුය. කාර්යශීලිත්වය නම් ව්‍යවස්ථානුකූල ක්‍රම අනුව උද්ඝෝෂණය කිරීමයි.’

ඔල්කට් – ධර්මපාල එකමුතුවෙන් සිදු වූ ජාතික කාර්යභාරය සුළුපටු නොවේ. එහෙත් අවසානයේදී ඕල්කට් – ධර්මපාල අසිරිමත් සබඳතාව දෙදරා ගිය බවද පෙනේ.

ඕල්කට් යනු, පරම විඥානාර්ථවාදියෙකි, ‘සත්‍යයට වඩා උසස් ආගමක් නැත’ යන්න පරම විඥානාර්ථවාදීන්ගේ තේමා පාඨයයි. සියලු පෙරදිග ආගම්වලට ගරු කළ ඕල්කට් ඉන්දියාවේදී හින්දු ආගමටත්, ශ්‍රී ලංකාවේදී බුද්ධාගමටත් සම තැන්දී කටයුතු කළ බව පෙනේ. ලංකාවේදී බුද්ධාගම වැළඳ ගත් බව කියුවද සැබැවින්ම ඔහු පූර්ණකාලීන බෞද්ධයෙක් නොවූයේය.

මේ දෙදෙනා අතර ගැටුමක් ඇති වූයේ පරම විඥානාර්ථවාදය මිථ්‍යා දෘෂ්ටියකැයි ධර්මපාලතුමා කල්පනා කරන්ට වූ හෙයිනි. ඊට හේතුව වූයේ දළඳා වහන්සේ සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් බව කියැවේ. දළඳාව යනු සතෙකුගේ ඇට කැබැල්ලක් විනා පුද්ගලයෙකුගේ දතක් යැයි තමන් පිළිනොගන්නා බව කීම නිසා ධර්මපාලතුමා ඕල්කට්තුමා කෙරෙහි නොමනාප වූ බව ඩේඩිඩ් කරුණාරත්න ලියූ ධර්මපාල චරිතයේ සඳහන් වේ.

දළඳා වහන්සේගේ අනුරුවක් අල්මාරියක් යට තබා තිබීමෙන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළඳාවට නිගරු කළ නිසා ඕල්කට්තුමා කෙරෙහි ධර්මපාලතුමාගේ සිත බිඳුණු බවක් කේ. බී. සුගතදාස ලියූ ‘අනගාරික ධර්මපාල අපදානයේ’ දැක්වේ. කෙසේ වුවද පුරා විසි වසරක් පැවති මේ දෙදෙනාගේ මිත්‍රත්වය 1904 දී බිඳ වැටුණු බව සඳහන් වේ. ඉන් අනතුරු පරම විඥානාර්ථවාදීන් සහ ධර්මපාලතුමා අතර දිගින් දිගටම අරගල ඇති වූ බවත් පෙනේ.

හෙන්රි ස්ටීල් ඕල්කට් යනු, මෙරට බෞද්ධ පුනරුදය උදෙසා අසමසම මෙහෙවරක් කළ පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ ඇතැම් මතවාද සහ ක්‍රියාකාරකම් පිළිබඳ සිංහල බෞද්ධයන් තුළද ප්‍රශ්න පැන නැඟී තිබේ. ඕල්කට්තුමා ප්‍රමුඛ පරම විඥානාර්ථවාදීන් සැබෑ බෞද්ධයන් නොවන බව තේරුම් ගත් ‘ලක්මිණිපහන’ කර්තෘ එම්. ධර්මරත්න පඬිතුමා 1888 පෙබරවාරි 11 වැනි දින මෙසේ ලියා තිබේ.

‘තියොසොපිස්ට්වරු නමැති නිරර්ථකයින් ලක්දිවින් නෙරපා හැරීමට දැන් කාලය පැමිණ තිබෙනවා සත්තකය. එසේ නොකළ හොත් සර්වඥයන් වහන්සේ තුන්වැනි වර ඇමෙරිකාවේ ඕල්කට් නමින් උපන්නාය කියා ප්‍රසිද්ධ කරනවා ඇත. එකල්හි ‘බුද්ධං සරණං ගච්ඡාමි’ වෙනුවට ‘ඕල්කට් සරණං ගච්ඡාමි’ කියා බුද්ධාගංකාර සමූහයාට සරණ ගන්නටත් වේ. හැබෑවටම ලංකා ශාසනයේ මුල් කොතේ බර ඉසිලීමට පත්ව සිටින නායක ස්ථවිරයන් වහන්සේලා බුදිද?’

ඕල්කට්තුමා ප්‍රමුඛ පරම විඥානාර්ථවාදීන් විවේචනයට ලක් කළේ අනගාරික ධර්මපාල, එම්. ධර්මරත්න දෙදෙනා පමණක් නොව්. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝද අවසානයේ මේ අයගේ අවංකත්වය සහ චරිතවත් භාවය පිළිබඳ ප්‍රශ්න කරන්ට වූහ. ඕල්කට්තුමා සතුව පැවති අසමාන බල පරාක්‍රමය බිඳී යන්නට එයද හේතුවක් වූ බව සඳහන් වේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද අපදානයේ මේ දෙදෙනා අතර ගැටුම් ඇතිවීම පිළිබඳ මෙබඳු විස්තරයක් අඩංගු වේ.

‘ඕල්කට් දින පොතේ සඳහන් වන පරිදි ඉහත කී අභියෝගය එල්ල වූයේ 1887 පෙබරවාරි 18 වැනිදා කොටහේනේ දීපදුත්තාරාමයේදී පැවැත්වුණු ප්‍රසිද්ධ රැස්වීමකදී ය. හික්කඩුවේ නාහිමියන්ද, ඕල්කට්තුමාද ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ. මෙම රැස්වීමේදී ගුණානන්ද හිමියෝ ප්‍රසිද්ධියේ ඕල්කට්තුමා විවේචනය කළහ. බෞද්ධ පාඨශාලා අරමුදල් සම්බන්ධයෙන් ඔහුට දෝෂාරෝපණය කළහ. පැමිණ සිටි පිරිස අත්පොළසන් හඬ නංවමින් ඒ හිමියන්ගේ අදහස් අනුමත කළහ. එතුමාගෙන් පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට වහාම උත්තර කියන මෙන් එහිමියෝ ඕල්කට්තුමාට අභියෝග කළහ. සිදුවන්නට යන්නේ කුමක්දැයි හරිහැටි තේරුම් නොගත් එතුමා පසුවදා පැවැත්වීමට තීරණය කරගත් රැස්වීමේදී පිළිතුරු දෙන බව කියමින් අභියෝගය පිළිගත්තේය.

‘එදින රාත්‍රී භාගයෙහි ඕල්කට්තුමා හික්කඩුවේ නාහිමියන් හමු වූයේය. එහිදී හික්කඩුවේ නාහිමියෝ එදින රැස්වීමේදී ගුණානන්ද හිමියන් ඔහුට විරුද්ධව නැගූ චෝදනා පිළිබඳ සම්පිණ්ඩයන් වටහා දුන්හ. හෙට රැස්වීමේදී ඔහුට මුහුණ පාන්නට සිදුවන අවාසනාවන්ත තත්ත්වයද පැහැදිලි කර දුන්හ. ඕල්කට්තුමා බිහිසුණු ලෙස කෝපාවිෂ්ට විය. හික්කඩුවේ නාහිමියන්ටද බැණ වැදුණේය. අවලාද නැගුවේය. හෙට රැස්වීමේදී සිය වෙස්වළාව ඉරී සුණුවිසුණු වී බිම ඇද වැටෙන බව වටහා ගත් ඕල්කට්තුමා විද්‍යෝදය පිරිණෛන් පිටවී ගියේ අන්ද මන්දවය. පසුවදා කොටහේනේ රැස්වීම නියමිත වේලාවට පටන් ගන්නා ලදී. ඕල්කට්තුමා නොපැමිණයේය. ඔහු පෙර දින රෑ නැව් නැංග බව ආරංචි වන්නට වැඩි වේලාවක් ගත නොවීය. දැන් ඔහු ඉන්දියන් සාගරය මැදය.

‘හොඳ කතෝලිකයකු හෝ බෞද්ධයෙකු හෝ නොවූ සෙන්පති ඕල්කට්තුමාගේ නියම ස්වරූපය වූ පරිද්දෙන් තේරුම් ගැනීමට බෞද්ධ ජනතාව පමණක් නොව ගුණානන්ද හිමියෝද මුලින් අපොහොසත් වූහ. ආත්මවාදියෙකු හා ගුප්ත විද්‍යා සම්භක්තියකු වූ ඔහුගේ ක්‍රියා කලාපය මෙන්ම චරිත ශක්තියද විවේචනයට ලක්වෙමින් පැවතිණ. ඔහුගේ පෞද්ගලික ජීවිතය, ධනෝපායන ක්‍රම හා සුචරිතවත්භාවය ගැන ද සැක මතුවෙමින් පැවතුණි..’

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

Advertisements
This entry was posted in Uncategorized and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )