ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 05

අනගාරික ධර්මපාල කවරෙක්ද යන්න වටහාගත හැකි වන්නේ මෙතැන් සිට ඔහු විසින් දියත් කළ ව්‍යාපාර සාවධානව, සවිචාරාත්මකව අධ්‍යයනය කිරීමෙනි. ‘ඉන් පළමුවැනි පියවර පූර්විකාව වූයේ මෙරට බහුජනයා වන සිංහලයා ඒ වනවිට පත්ව සිටි මර නින්දෙන් අවදිකොට දාස භාවයෙන් මුදවා ඔහු තුල සම්මා සතියක් – ස්වසතියක් ඇති කිරීම යැයි’ ගුණදාස අමරසේකර පෙන්වා දෙයි.

මේ කාර්යය සඳහා ධර්මපාලතුමා විසින් උපයෝගී කර ගනු ලැබුයේ බහුතර සිංහල ජන වර්ගයා අවදි කිරීමට සමත් ප්‍රාණවත් සටන්කාමී දේශන හා ලේඛන මාලාවකි. එහිලා ඔහුගේ ඉලක්ක කණ්ඩායම වූයේ නූගත් සිංහල බෞද්ධ ගැමියන් බව පෙනේ. එහෙයින් ඔහුගේ ශෛලිය කර්කශ හා ගොරහැඩි ප්‍රහාරාත්මක බවකින් යුක්ත විය. ධර්මපාලගේ මේ ලිපි අතිශයින් රාජද්‍රෝහී ස්වරූපයකින් යුතු වූ බව සඳහන් කරන එක් නිලධාරියෙක් ඒවායේ අන්තර්ගත වූයේ සංස්ථාපිත අධිකාරී බලයට එල්ල කළ තොරතෝංචියක් නැති ඇනුම්බැණුම් යැයි කියා සිටියේය.

අනගාරික ධර්මපාල විසින් මේ යුගයේ ඉටුකළ කාර්යභාරය අපක්ෂපාතව හා මධ්‍යස්ථව හඳුනාගත් විශිෂ්ට පර්යේෂිකාවක වන්නෙ ආචාර්ය කුමාරි ජයවර්ධන යි. අතිශයෝක්ති සහගත වර්ණනාවලින්ද, ගර්හාත්මක නින්දාලාපවලින්ද මිදී අනගාරික ධර්මපාලගේ ක්‍රියාකාරකම් වටහාගැනීම සඳහා මහඟු අත්වැලක් වන්නේ ආචාර්ය ජයවර්ධනගේ ‘ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම’ නම් වූ පර්යේෂණ ග්‍රන්ථයයි. එහිලා එතුමාගේ කාර්යභාරය සාකච්ඡා වන්නේ මෙසේය.

‘………….ආණ්ඩුව කෙරෙහි විරෝධය පළ කිරීම අරමුණු කරගත් රැස්වීම්වලට පුළුල් බහුජනතාව ඇදගත් පළමු තැනැත්තා වූයේ ධර්මපාල ය. ඒ කාලයේ පැවති තත්ත්වය අනුව සලකා බලන කල ධර්මපාල රැඩිකල්වාදියෙකි. මධ්‍යම පංතිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට විරුද්ධව සටන් කළ ඔහුගේ ආකර්ෂණ මහිමයෙන් සටන්කාමී බෞද්ධයෝ වශී වූහ. බෞද්ධයන් ඔහුට සැලකුවේ බයින් හැකිළෙමින් නිවට ලෙස බඩ ගෑමෙහි යෙදුණු යටහත් පහත් ලාංකිකයන් සමූහයක් මධ්‍යයෙහි තම හිස කෙළින් ඔසවාගෙන ගමන් කළ එකම වංශවත් තැනැත්තා වශයෙනි. ධර්මපාලගේ ආගමික වැඩ කටයුතු මගින් දේශපාලන උද්ඝෝෂණය සඳහා අත්තිවාරම දැමිණ. රජයේ නිලධාරීන්, මිෂනාරිවරුන් හා ක්‍රිස්තු ධර්මය වැළඳගත් ලාංකිකයන් පිළිකුළට භාජනය කරමින්ද තම ප්‍රබෝධජනක වාග් ප්‍රහාරයෙන් සෙනඟ කුල්මත් කිරීමට ඔහු පුරුදු වී සිටියේය.’

අනගාරික ධර්මපාලගේ මේ ව්‍යපාරය වූකලි සකලවිධ විජාතික බලපෑම්වලට එරෙහි වූ අරගලයකි. විජාතික සිරිත් විරිත්, විජාතික ඇඳුම් පැළඳුම්, විජාතික නම්ගම්වලට එරෙහිව ඔහු කොන්දේසි විරහිතව පහර දුන්නේය. ඔහුගේ ප්‍රහාරයට බෞද්ධ භික්ෂූන්ද, බෞද්ධ නායකයන්ද, ස්වදේශික ප්‍රභූජනයාද ඉලක්ක වූයේය. මේ සාහසික විලාසය හා පොරෝ පහර වැනි ප්‍රකාශ විශාල ජන පිබිදීමක් ඇති කිරීමට සමත් වූ බව පෙනේ. එහෙත් ප්‍රතිමල්ලවයන් පරාජය කිරීම උදෙසා එබඳු කර්කශ ආමන්ත්‍රණ විලාසයක් අවශ්‍ය බව ඔහුගේ විශ්වාසය වූයේය.

අනගාරික ධර්මපාලගේ ජාතිකවාදි ව්‍යාපාරය මෙරට කම්කරු සටන් සඳහාද බලපෑ බව කුමාරි ජයවර්ධන පෙන්වා දෙයි. 1912 දුම්රිය වැඩවර්ජනය සඳහා ජනයා පොලඹවනු ලැබුවේ අනගාරික ධර්මපාල බව ඉංග්‍රීසීන්ග් ආකල්පය වූයේය. ‘වැඩ වර්ජකයන් කුපිත කරවන ලද්දේ හා පොලඹවන ලද්දේ අන්ත රාජ්‍යද්‍රෝහී උද්ඝෝෂකයෙකැ’යි ආණ්ඩුකාර හෙන්රි මැකලම් කියා සිටියේ අනගාරික ධර්මපාල ඉලක්ක කර ගෙනය. අක්‍රමණකාරී ලෙස අධිකාරීන් විවේචනය කිරීම නිසා සිහල කම්කරුවන් අතර ඉහළ ජනප්‍රියත්වයක් තිබූ ධර්මපාල, වැඩ වර්ජකයන්ට සිය සතුට ප්‍රකාශ කොට ඇත්තේ සිය ශක්තිය හා බලය ප්‍රදර්ශනය කිරීම ගැනය. එසේම වැඩවර්ජකයන් වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි හමුවට ගිය එක් අයෙකු වූයේද අනගාරික ධර්මපාල ය.

අනගාරික ධර්මපාල ගිහි ජීවිතයක් ගත නෙකළද තපෝවෘතය ප්‍රතික්ෂේප කළ බව පෙනේ. අනගාරික වීමේදී ඔහු දසසිල් සමාදන් වූ බවක්ද සඳහන් නොවේ. එසේම විකාලභෝජනයෙන් වැළකුණ බවක්ද නොපෙනේ. ඔහු අනගාරික වීමෙන් අදහස් කරන ලද්දේ සිය ජීවිතයම ජාතික හා ආගමික කාර්යයන් වෙනුවෙන් කැපකිරීමයි.

අනගාරික ධර්මපාලතුමා විසින් සිය ජීවිත කාලය තුළ ගොඩනැඟූ චින්තන ප්‍රවාහය – ධර්මපාල ප්‍රවාදය – ධර්මපාලවාදය ලෙස සැලකිය හැකිය. ‘අපේ ජාතික චින්තනය හැඩගස්වාලූ ශ්‍රේෂ්ඨතම චින්තකයා අනගාරික ධර්මපාල බව’ ආචාර්ය ආනන්ද ගුරුගේ ගේ අදහසයි. එය ‘නිර්භය බෞද්ධ විප්ලවවාදියෙකුගේ චින්තනය’ බව මාර්ටින් වික්‍රමසිංහ කියා සිටී.

‘ආදිකාලීන විජිතවාදී මානසික හැඩගැස්වීම් ප්‍රතික්ෂේප කරන සේ එය සිංහලයන් මුළු මහත් පරම්පරාවක් උනන්දු කළ’ බව ඩී. බී. ධනපාල කියයි.

වික්ටර් අයිවන් කියා සිටින්නේ ‘ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් මුදා ගැනීමේ සැබෑ අවශ්‍යතාවක් හා ඒ සඳහා වන පුරෝගාමී ශක්තිය ධර්මපාලතුමාට තිබුණද ඒ සඳහා අවශ්‍ය කරන පුළුල් චින්තනයක් එතුමා සතුව නොතිබුණ’ බවයි.

ධර්මපාල චිනතනය අධ්‍යයනය කළ හැකි ප්‍රධාන ම මූලාශ්‍රය වන්නේ ‘දැනගත යුතු කරුණු’ නම් වූ ප්‍රකට ලේඛන මාලාවයි. මේ ලිපි ගමේ කඩපිලේදී හෝ පන්සලේ දී පිරිසක් අසා සිටින විට එක අයෙකු විසින් හඬ නඟා කියවීමට පුරුදුව සිටි ලේඛනයකි. එහෙයින් ඒ ලිපි පොදු ජනකායට අණ දෙන්නාක් බඳු වේගවත් රණකාමී ශෛලියකින් ලියැවී තිබේ. ඒවා අද කියවන විට වත්මන් ව්‍යවහාරයට ආගන්තුක කඨෝර බවක් දිස්වේ. ඊට හේතුව ඒ සමකාලීන භාෂාව – 19 වන සියවසේ භාෂාව වීමයි.

ධර්මපාලතුමා සාමාන්‍ය ගමේ ගොඩේ මිනිසුන්ට ලියූ මේ ලිපිවලට වඩා හාත්පසින් ම වෙනස් – වඩා වැදගත් එතුමාගේ බුද්ධි මහිමය ප්‍රකට කරවන රචනා බහුතරය ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒවා අතිශ්‍රේෂ්ඨ නිර්මාණාත්මක රචනා බව ධර්මපාල දර්ශනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින විශේෂඥයකු බදු ආචාර්ය ආනන්ද ගුරුගේ ගේ අදහසයි.

අනගාරික ධර්මපාලතුමාගේ උද්වේගකර ප්‍රකාශ පිළිබඳ ඉතාම වැදගත් විවේචනය කර ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ බව අපගේ හැඟීමයි. ධර්මපාලතුමා සිය සටනේදී සංයමයත්, ශානත් භාවයත් බැහැර කළේ මන්දැයි වික්‍රමසිංහ පෙන්වා දෙයි. මෙය වර්තමාන සාහිත්‍යයේ ආරම්භයත්, හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ සේවාවත් විවරණය කරමින් වික්‍රමසිංහ ලියූ ලිපියකින් උපුටා ගත්තකි.

‘මුළු රටෙහි ඇති වූ පිබිදුමත් ඉංගිරිසි උගත් සිංහල ක්‍රිස්තියානිකාරයන්ගේ සංස්කෘතික අසහනයත් නිසා පහළ වූ රණකාමී බෞද්ධ උපාසකයෙකි, අනගාරික ධර්මපාලතුමා. ආගමත්, ජාතියත් දෙකම නිසා උපන් දැඩි හැඟීම ඇති විප්ලවවාදියකු මෙන් ධර්මපාල මහතා බෞද්ධයන්ට හා සිංහලයන්ට හඬගාන කාහල නාදයක් ලංකාවේ ගම් නියම්ගම්වල පැතිර වූයේ ය. එතුමාගේ රණකාමී කර්කශ කථාවලටත් ලිපිවලටත් සුදු මිනිස්සු, කිතුසමය පිළිගත් සිංහලයෝ, ගතානුගතික යතිවරයෝ, ගැමියෝ හා ලියන්නෝද හසුවූහ. සියල්ලන්ටම පොදුවේ අතුල් පහර දෙන්නාක් මෙන් ධර්මපාල මහතා කතාවෙන් හා ලිපියෙන් කියූ ඇණුම් බැණුම්වලට යටින් ඇත්තේ හටන්කාමී බෞද්ධ සිංහලයෙකුගේ අසංයත ආගමික ජාතික හැඟීම බව ගැමියෝ වටහා ගත්හ. නගරවල සමහරු, කොඳු කඩන්නාක් මෙන් තර්ක කිරීමෙහි සූර පණ්ඩිතයන් මෙන් ධර්මපාල මහතා විවේචනය කරන්ට වූහ.

‘බුදුසමයත් බටහිර සංස්කෘතියෙහි හරයත් විසින් පසස්නා ලද සංයමය, ශාන්ත භාවය, මෙත් සිත, ඉවසීම යන ආදිය ධර්මපාල මහතා තමා කළ හටනෙහිදී බැහැර කෙළේ ය. ධර්මය වුවද, ජාතිය වුවද උදෙසා කෙරෙන හටනකදී මේ ගුණදහම් එකල බැහැර කළ යුතු විය. ඒ ගුණදහම් කරින් ගන්නා සටන්කාමී ජන සේවකයා මිනිසුන් පුබුදන්නෙක් නොවෙයි.’

අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍යයන් පතුරු ගසන්ට එළඹුණද බොහෝ ප්‍රභූ ජනයා අවනත දාසයන් මෙන් කටයුතු කළෝය. සැබවින්ම ඔවුහු නිදහස පවා නොඉල්ලූහ. නවසිය විසි ගණන්වල ජාතික සංගමයේ සභාපතිවරයෙකුව සිටි ජේ. සී. පෙරේරා ‘අපි නිදහස ගැන කතා නොකරමු. කිසිදාක අපි නිදහස නොඉල්ලුවෙමු. අපේ අරමුණ වචනයේ පුළුල් අර්ථයෙන්ම බ්‍රිතාන්‍යයන් බවට පත් වීමයි.’ යනුවෙන් කියා සිටියේය.

අනගාරික ධර්මපාල බ්‍රිතාන්‍යයන්ට එරෙහිව නැඟී සිටීම සීමාන්තික ආක්‍රමණකාරී විවේචනයක් ලෙසත් ඇතැමුන් විසින් සලකන ලද්දේ මේ හෙයිනි.

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

Advertisements
This entry was posted in Uncategorized and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )