ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 09

ධර්මපාලතුමාට එරෙහිව රිචඩ් ද සොයිසා..!

අනගාරික ධර්මපාලතුමාට එරෙහිව අයුක්ති සහගත ලෙස මත දැක්වූවන් අතර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ද වේ. සොයිසාගේ ඒ විග්‍රහය 1990 පෙබරවාරි 11 වන දින Sunday Island පුවත්පතේ පළ වී තිබේ. එය සිංහලට නඟා 1990 ජූනි ‘යුක්තිය’ පුවත්පතේ පළ කෙරුණු බව නිලාර් එන්. කාසිම් 2002 මාර්තු ‘බලය’ සඟරාවට ලියමින් ප්‍රකාශ කරයි. සොයිසා කියා සිටින්නේ අනගාරික ධර්මපාල රැවටිලිකරුවෙක් බවයි.

‘මාර්ටින් වික්‍රමසිංහ නමැති ශ්‍රේෂ්ඨ හේතුවාදියා හා අනගාරික ධර්මපාල නමැති රැවටිලිකරුවා අතර පොදු යමක් සෙවීම සඳහා බොහෝ උත්සාහ දැරිය යුතුව ඇත. අනගාරික ධර්මපාල කළ එකම දෙය නම් වික්ටෝරියානු මැද පන්තික සදාචාරය හා එහි ප්‍රබල පාරිශුද්ධවාදී උත්සාහයන්ද සමඟ ධනේශ්වර බුද්ධාගම බද්ධ කිරීමයි.’

සොයිසා, මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ හේතුවාදියෙකු බව කියා තිබේ. හේතුවාදියා යනු තර්කයටත්, විමර්ශනයටත් හසුවන සැම දෙයක් සම්බන්ධයෙන් සත්‍යය විද්‍යාවෙන් වෙන්කොට දක්වන්නෙකැයි ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් කියයි. හේතුවාදියාගේ අරමුණ විශ්වය හා එහි අඩංගු සියලු දේ ගැන ඇතිසැටිය, නියම ස්වභාවය, සත්‍යය අවබෝධ කර ගැනීම බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියි. ඒ අනුවද සොයිසාට අනුවද මාර්ටින් වික්‍රමසිංහ යම් කිසිවක තථ්‍යය ස්වරූපය, නියම ස්වභාවය තර්කානුකූලව විග්‍රහ කළ හේතුවාදියෙකි. වික්‍රමසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ හේතුවාදියා අනගාරික ධර්මපාල ගැන කියා ඇත්තේ මොනවා දැයි බලමු.

1964 ජූලි මස පළ වූ ‘නවලෝකය’ සඟරාවට අනගාරික ධර්මපාල සම්බන්ධයෙන් වික්‍රමසිංහ ලියා ඇති ලිපිය, ‘අපේ වියත් පරපුර භාෂා හා සමාජ පරිණාමය’ නමින් වික්‍රමසිංහගේ අභාවයෙන් පසු පළවූ කෘතියේ ඇතුළත්ව තිබේ.

‘ධර්මපාලතුමා ක්‍රිස්තියානිකාරයන්ටත්, දේවගැතිවරයන්ටත් නොසරුප් බසින් බැන වැදුණු, ස්වමතාන්ධ බෞද්ධයෙකි යි උගත් ක්‍රිස්තියානිකාරයන් පමණක් නොව, ඉංග්‍රීසි සංස්කෘතියෙහි නොගැඹුරු දේ පිළිගත් උගත් බෞද්ධයෝද කීහ. මොවුන්ගේ කියුම් නොවිමසා පිළිගත් සමහර භික්ෂූන් වහන්සේද ඔහුට සමහර විට බැන වැදුණෝය. බුදු සමයෙහි නිදහස් මතවාදය විසින් හික්මවනු ලැබූ මොවුන්ගේ වාද ප්‍රතිවාද ආගම් පිස්සුව පිළිබඳ හටනක් නොව බුද්ධි විෂයක නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සැලකීම වටනේය. මෙබඳු වාද ප්‍රතිවාද බ්‍රිතාන්‍යයෙහි ඇතිවුයේ පාර්ලිමේන්තු ක්‍රමය තහවුරු වූ පසුය. ‘ආගම් පිස්සා’ යන වචනය, බටහිර ඉංග්‍රීසි සංස්කෘතියෙහි හරය නොව එහි ඇතැම් ව්‍යවහාරික ධර්මයන් මහත් කොට සැලකූවන් විසින් නිපද වූවක් යයි මම සිතමි. ‘ආගම් පිස්සෝ’ ඉන්දියාවෙහි හෝ ලංකාවෙහි අතීතයෙහි නොවූහ. ඔවුන් මෙහි පහළ වූයේ කතෝලික අසහනය හා එංගලන්ත සභාවෙහි දේවගැතිවරුන්ගේත්, ගිහියන්ගේත් සංස්කෘතික අසහනයද නිසාය… ධර්මපාලතුමාගේ බැනුම් හා මෙකල සිංහල භාෂාව, සාහිත්‍යය, රට, ජාතිය ගැන ලියන කියන සමහරුන්ගේ වාග් ව්‍යවාරයත් අතර ලොකු වෙනසක් ඇත. ඒ වෙනස හැඳින ගන්නේ ස්වාධීනව සිතන්ට ශක්තිය ඇත්තෙකි. ධර්මපාලතුමාගේ කර්කශ වචනවලට යටින් ද්වේශයක්, ඊර්ෂ්‍යාවක් ඇතැයි කිය නොහැකිය. ක්‍රිස්තියානිකාරයන්ටත්, දේවගැතිවරයන්ටත්, සුදු මිනිසුන්ටත් ඔහු කරන චෝදනාවලට යටින් ඇත්තේ සංවේගය හා කෝපය පමණි. ඒ චෝදනාවලින් නින්දාවට හසුවන්නෝ ක්‍රිස්තියානිකාරයෝත්, සුදු මිනිස්සුත් පමණක් නොවෙති. සිංහල ගිහියොත්, භික්ෂූන් වහන්සේත් ඒ චෝදනාවලට හසුවති.’

සොයිසා කියන පරිදි ම මාර්ටින් වික්‍රමසිංහ විශිෂ්ට ගණයේ හේතුවාදියෙකු බව මේ ප්‍රකාශයෙන් නොපෙනේද? අතිසංකීර්ණ පුද්ගල චරිතයක් වූ අනගාරික ධර්මපාල චරිතයේ තථ්‍ය ස්වරූපය මාර්ටින් වික්‍රමසිංහ ග්‍රහණය කරගත් බව පෙනේ. එපමණක්ද නොවේ, ධර්මපාල චරිතයෙහි විශිෂ්ටත්වයද මාර්ටින් වික්‍රමසිංහ වටහාගත් බව පෙන්වන ප්‍රකාශයක් මෙසේය.

‘එකී කර්කශ චෝදනාවලින් හෙළි වන්නේ ධර්මපාලතුමාගේ නිර්භය, අවංක දේශ වාත්සල්‍යයි. ඔහු ලොක්කන්ගේ, සුද්දන්ගේ සිත් රිදවන්ට බිය නොවීය. භික්ෂූන්ගේ, සිංහල ගිහියන්ගේ සිත් රිදවීමට නොපැකිලුණි. කිසිවකුගෙන් තාන්න මාන්න, තුති පැසසුම්, ආණ්ඩුවෙන් ගරු නම්, ලොක්කන්ගේ අත්පොළසන් නොතැකූ නිර්භය බෞද්ධ විප්ලවවාදියෙකුගේ හදින් නැගී කටින් පිටවිය හැකි කියුම්ය, ඒවා. පක්ෂ, කුල, කාණ්ඩ, නිකාය භජනය නිසා දැන් නොමඟ ගොස් සිටින සිංහල බෞද්ධ නායකයන් අතරත්, මෙසේ ස්වාධීනව සිංහලයන්ගේත්, භික්ෂූන්ගේත් වැරදි පෙන්වා දීමට තරම් ධෛර්යය ඇත්තකු සොයාගත හැකිද?’

වික්‍රමසිංහගේ මේ ප්‍රකාශයෙන් රිචඩ් ද සොයිසා අවලංගු වී නොයන්නේද?

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි

Advertisements
This entry was posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී, සිංහල and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )