ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 08

අනගාරික ධර්මපාලට එරෙහිව ටී. අන්ද්‍රාදි..!

ට්‍රොට්ස්කිවාදී විචාරක ටී. අන්ද්‍රාදි, ධර්මපාලතුමාට වර්ගවාදී, ආගම්වාදී ලේබලය ඇලවීමට ඉක්මන් වූ තවත් ලේඛකයෙකි. ‘ඊනියා ජාතික චින්තනය ෆැසිස්ට්වාදයද? මාක්ස්වාදයද?’ කෘතිය ලියමින්, ධර්මපාලතුමාට දැඩි ප්‍රහාර එල්ල කරමින් අන්ද්‍රාදි මෙසේද කියයි.

‘ධර්මපාලයන්ට අත් වූ ඉරණම සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ ඔහුමය; ඔහුගේ පටු වර්ගවාදී, ආගම්වාදී චින්තනයමය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය පෙරළා දැමීම දිනයේ ක්ෂණික කර්තව්‍යයව තිබියදී ‘බුද්ධගයාව බේරා ගනිව්’ යන සටන් පාඨය ඉදිරියට දැමීම මෙම පටු ආගම්වාදය පිළිබඳ අමරණීය සාක්ෂියක් නොවේද?’

මේ මෙරට මාක්ස්වාදීන් ධර්මපාලතුමාට එරෙහිව නඟන සුලභ චෝදනා පත්‍රයමැයි. එනම් අනගාරික ධර්මපාල සිංහල වර්ගවාදියෙක් බවයි. පටු ආගම්වාදියෙක් බවයි. මේවා ධර්මපාල අරභයා ඉතා පහසුවෙන් එල්ල කළ හැකි චෝදනාය. එතුමාගේ ලිපි ලේඛනවල වර්ගවාදී ප්‍රකාශ ඕනෑ තරම් හමුවන බැවිනි.

ධර්මපාලතුමාගේ වර්ගවාදී ස්වරය ඒ යුගයේ වෛෂයික කාරණා මත ගොඩනැඟුණකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණයෙන් ප්‍රබල ප්‍රහාරයට ලක් වූයේද, දීනභාවයට පත් වූයේද මෙරට සිංහල ජනවර්ගය බව පෙනේ. ධර්මපාලතුමා කරන ලද්දේ විනාශයට පත් එකී ජන ප්‍රජාව වෙනුවෙන් නැඟී සිටීමයි. එය ඓතිහාසික වශයෙන් විශිෂ්ට කාර්ය භාරයක් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව එසේ නැඟී සිටීමට ශක්තියක් එකල කිසිවෙකුටත් නොවූ බැවිනි. සකලවිධ ශ්‍රී ලාංකික ප්‍රජාව අධිරාජ්‍ය ඉදිරියේ ගැත්තන්ව සිටි බැවිනි. අධිරාජ්‍ය මෙරට සකලවිධ සම්පත් හා ජන ප්‍රජාව සූරා කනු ලැබිණ. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය වූකලී එකී සූරා කෑමට ලක් වූ සිංහල ජන වර්ගයේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටීමකි.

ධර්මපාලතුමා වර්ගවාදී රාමුවට කොටු නොකර ඔහුගේ කාර්යභාරය දෙස බැලුවොත් පෙනී යන්නේ ඔහු පීඩිත ජනවර්ගයක් නඟාලීමට වෙහෙසුණු නායකයෙක් බවයි. මෙරට ජනසමාජයේ පැවති ඇති නැති පරතරය, පංති විසමතාව, සම්පත් අසමතුලිතතාව පිළිබඳ ඔහු මනා අවබෝධයකින් සිටි බව පෙනී යන්නේ ඔහුගේ කාර්යභාරය ඉවසිලිවන්තව වටහා ගන්නෙකුට පමණි. මේ බව කුමාරි ජයවර්ධන ‘ශ්‍රී ලංකා කම්කරු ව්‍යපාරයේ නැඟීම’ කෘතියේදී මැනවින් පෙන්වා දෙයි.

‘ශ්‍රී ලංකාවේ පැවති විජිතවාදී ආර්ථික ක්‍රමයත්, අසමාන ලෙස ධනය බෙදී යාමත්, සමාජ ප්‍රතිසංස්කරණය සඳහා වූ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ඉතාම වැඩි සැලකිල්ලක් දක්වන ලද්දේ රැඩිකල්වාදීන් විසිනි. ඔවුන් අතුරෙන් ඉතාම සෘජුව කතා කළ තැනැත්තා වූයේ අනගාරික ධර්මපාල ය. නිතර නිතර රට පුරා සංචාරයෙහි යෙදුණ ඔහුට දුප්පත්කම හා සමාජ විසමතා කරණ කොට ගෙන ගොවියනුත් නගරබද දිළින්දනුත් අතර ඇති වී තිබුණු ඵලවිපාක ගැන අවබෝධයක් ලැබිණ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ධනවතුන් සෑහෙන උනන්දුවක් නොදැක්වීම ගැන ඔහු සඳහන් කළේ මහත් ශෝකයෙනි.’

කුමාරි ජයවර්ධන තවදුරටත් කියා සිටින්නේ 1912 දී කොළඹ නගරයේ කම්කරු කැලඹීමක් ඇති වූ වේලේ ධර්මපාලතුමා වැඩවර්ජකයන්ගේ පැත්ත ගත් ප්‍රධාන නියෝජිතයෙකු වූ බවයි. එසේම කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන්ද, බහුජන දරිද්‍රතාව සම්බන්ධයෙන්ද සෘජුව කතා කළ නායකයෙකු බවයි.

ධර්මපාලතුමා සිංහල ජනවර්ගයාට පක්ෂපාත වූවකු බව, සිංහල ජන වර්ගයා වෙනුවෙන් පෙනී සිටි බවට කිසිදු විවාදයක් නැත. එහෙත් එතුමාගේ ප්‍රබල විවේචනය එල්ල වූයේද සිංහල ජන වර්ගයාට බව අමතක කළ යුතු නොවේ. එතුමා සිංහල ජනයාට දුන් පහර අතිශය සාහසිකද ප්‍රහාරාත්මකද වූයේය. පොරෝ පහර වැනි වූයේය. තමන්ගේ කර්කශ වාග් විලාසය ගැන පවසමින් එතුමා කියා ඇත්තේ ‘හොර නින්දේ පසුවන බටහිර විලාසිතාවන්ට හා අන්ධානුකරණයට වහලුන් වූ සිංහල ජාතිකයන් අවදි කිරීමට වාග් ප්‍රහාර නමැති පා පහර’ දිය යුතු බවයි.

අනගාරික ධර්මපාල පටු ආගම්වාදියෙකු බවද අන්ද්‍රාදි හා තවත් ට්‍රොට්ස්කිවාදීහු ලියති; කියති; ප්‍රචාරය කරති. එහෙත් ධර්මපාලතුමාගෙන් එබඳු ස්වරයක් නැඟුණේ එකල වූ ඓතිහාසික අවශ්‍යතාවක් ඉෂ්ට කිරීම උදෙසා යැයි යළිඳු කිව යුතුව තිබේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු සිය ත්‍රාඩ ආක්‍රමණය පෙරදිග ජනයාගේ ආගම් කෙරෙහිද එල්ල කළහ. පෙරදිග ආගම්වලට නිගරු කොට, නින්දා කොට ස්වකීය ආගම සංවිධානාත්මකව, බලහත්කාරීම ප්‍රචාරය කළහ.

අනගාරික ධර්මපාලතුමාට සිය ආගම වූ බුද්ධාගම වෙනුවෙන් නැඟී සිටින්ට ඉතිහාසය විසින් බලකරන ලද්දේ එකී සාපරාධී ක්‍රියා පිළිවෙත නිසා බව පෙනේ. එවක ඇතැම් මිෂනාරීන්ගේ බෞද්ධ විරෝධී ලේඛන මෙබඳු විය.

‘බුද්ධාගම නුඹලාටත්, නුඹලාගේ වැඩිමහල්ලන්ටත් කළ උපකාරක මොනවාද? නුඹලාටත්, නුඹලාගේ වැඩිමහල්ලන්ටත් පැවති වනචරකමෙන් ඉවතට ගෙන ශීලාචාර ගුණධර්මයෙහි පිහිටුවීම පිණිස යම් උපකාරයක් හදා ඇත්ද? එයාකාර පිහිටක් ලැබූ එකම පළාතක්, එකම ගමක්, පවුලක් මේ ශ්‍රී ලංකාදීපයෙන් තෝරලා ගන්නට තිබේද? බුද්ධාගම නුඹලාටත්, නුඹලාගේ වැඩිමහල්ලන්ටත්, දුශ්චරිතභාවයෙන් මුදවාගෙන සුචරිතයෙහි පිහිටුවනු පිණිස යම් උපකාරයක් කර ඇත්ද? එයාකාර පිහිට ලැබූ පළාතක්, ගමක්, පවුලක් පෙනෙන්නට තිබේද? බුද්ධාගම නුඹලාටත්, නුඹලාගේ වැඩිමහල්ලන්ටත් පැවති අඥාන අපණ්ඩිත ස්වභාවයෙන් ඔසවා ඥානවන්ත පණ්ඩිත ගුණයෙහි පිහිටුවනු පිණිස යම් උපකාරයක් කළා ඇත්ද?’

කතෝලිකයන්ගේ ඇතැම් ප්‍රකාශ බුදුන් වහන්සේට පවා නිගරු කරනසුලු ඒවා විය. ඔවුන් බෞද්ධයන් හා වාදයට පැමිණියේ මෙබඳු නිග්‍රහාත්මක ප්‍රකාශත් සමඟිනි.

‘දඹදිව කිඹුල්වත් නුවර උපන්නාය කියන සිද්ධාර්ථ කුමාරයා ක්‍රමයෙන් වැඩිවිය පැමිණ සත්‍ය රජවරුන් විසින් සාදා දෙන ලද සතළිස් දහසක් නළුවන් පිරිවරා මල්සර බැල්මෙන් පින පිනා පසුව සර්වඥතා ඥානයට පැමිණුනා කියා ඉතිපිසෝ.. යනාදී උත්තම නාම තමන් කෙරේ ආරූඪ කරගත්තාය. බුද්ධාගමේ පොත්වල නොයෙක් කාරණාවලින් මොහුට සර්වඥතා ඥානයක් නොතිබුණු බවත් මොහු අරහත් නොවන බවත් අප ඔප්පු කරනවාය.’

තවත් දැක්විය හැකි නිදර්ශන බොහෝය. එකක් පමණක් දක්වමි.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විසින් 1908 දී The Sacred City of Anuradhapura නමින් කෘතියක් පළ කරන ලදී. මේ කෘතියේ එක් පරිච්ඡේදයක් සපුරාම කැප වී ඇත්තේ බෞද්ධයන්ගේ ප්‍රමුඛ ආගමික මධ්‍යස්ථානය වූ අනුරාධපුරය බ්‍රිතාන්‍ය නිලධාරීන්ගෙන් කෙලෙසී ගිය අයුරු පෙන්වීමටයි. එසේම බෞද්ධ ප්‍රජාවට එරෙහිව සිද්ධ වූ බලහත්කාරකම් හෙළිදරව් කිරීමටයි. අනගාරික ධර්මපාලතුමාගේ උපදෙස් හා අනුශාසනා ඇතිව අනුරාධපුර නගරයේ බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන ලද්දේ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විසිනි. එතුමා විසින් ලියන ලද ‘සිතියම් සහිත පුරා විද්‍යාව’ නමැති කෘතියේ බෞද්ධ ශුද්ධ භූමි සතු ඉඩම් පවා රජයේ කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදාගෙන තිබූ අන්දම මෙසේ දක්වා ඇත.

‘වර්ෂ 1872 දී ඩික්සන් ඒජන්ත උන්නැහේ විසින් නීති විරෝධී ලියවිල්ලක් සම්පාදනය කොට ශුද්ධ භූමියෙහි අක්කර තිස් ගණනක් හැර ඉතිරි සියල්ල ආණ්ඩුවට අයිති කරගැනීමට වැඩ ආරම්භ කරන ලදී. ථූපාරාම දාගැබට අයිති වැලිමළුව සහ එහි පිහිටා තිබෙන සංඝමිත්තා චෛත්‍යය පවා ආණ්ඩුවට අයිති යයි ලියාගන්නා ලදී. රුවන්වැලි මහ සෑය, ජය ශ්‍රී මහාබෝධිය සහ මිරිසවැටි දාගැබ යන සිද්ධස්ථානත්‍රය මධ්‍යයෙහි පිහිටුවා තිබූ පළාතේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේගේ ආවාසය පවා ඉවත් කරවා මස්කඩ සුරා සැල් ආදියෙන් යුක්ත වූ කඩපළ පිහිටුවන ලදී. සිද්ධස්ථාන මධ්‍යයෙහි නිලධාරීන් සහ ලිපිකරු ආදි මුලාදෑනින් පදිංචි වූහ.’

බෞද්ධ ජනයාගේ ආගමික නිදහස මෙසේ අහිමි කිරීමට එරෙහිව ධර්මපාලතුමා හඬ නැඟූ බව පෙනේ. අනුරාධපුරයේ සිද්ධ වූ මෙකී අකටයුතුකම්වලට එරෙහිව එතුමා බ්‍රිතාන්‍ය මහරජුට ලීවේය. එබඳු එක් අප්‍රකට ලිපියක් වලිසිංහ හරිස්චන්ද්‍ර විසින් රචිත The Sacred City of Anuradhapura කෘතියෙහි ඇතුළත් වේ. ලංකාවේ බෞද්ධ වැසියන්ට සතුටින් සහ තෘප්තියෙන් ජීවත්වීමේ ඉඩ අවකාශ ලබා දෙන මෙන් ආයාචනා කරමින් ලියූවකි.

*****************************************

ග්‍රීන්ඒකර්, අමෙරිකා එක්සත් ජනපදය
24 ජූලි, 2447/1903

අතිගෞරවණීය රජතුමනි,

ලංකාවේ බුද්ධාගමෙහි පරම පූජ්‍ය ඉතිහාසය නොදන්නා බැවින් නො උගුළුවා දැමිය හැකි ආගමික නීතිරීති නො සලකා හැරීමට තමන්ට හැකි යයි සිතන ඔබ ගේ ආණ්ඩුවේ සුළු නිලධාරීන් විසින් ලංකාවේ බෞද්ධයෝ මහත් පීඩාවට භාජන කරනු ලැබ සිටිති.

ක්‍රිස්තියානි ආගම ලංකාවට ගෙන ඒමට වසර දෙදහස් දෙසීයකට පෙර පටන් බෞද්ධයන් හට ඉතා ශ්‍රේෂ්ඨ ආගමක් තිබුණේ ය. ප්‍රාණඝාතයෙන්, සුරාමේරයෙන් වැළකී සිටීමට, ඔවුන්ගේ දර්ශනය, මනෝ විද්‍යාව, කලා ශිල්ප ආදිය අධ්‍යයනය කිරීම මඟින් ජීවිතය උදාරත්වයට පත් කරගැනීමට හා නැණවත් යහපත් ජීවිත ගත කිරිම සඳහා වැර වෑයම් දැරීමට ඔවුන්ට උගන්වන ලදී. පරම පිවිතුරු දහමක් ඔවුන්ට දායාද වී තිබිණි. අතීත ඉතිහාසයට අදත් දෙස් දෙමින් පවතින වැව් අමුණු හා මාහැඟි ගොඩනැඟිලි ඉදිකරමින් ඒ රමණීය දිවයින තුළ ආර්ය වංශික සිංහලයෝ සාමයෙන් කල් යැවූහ.

විසි ලක්ෂයක් පමණ වන සිංහල බෞද්ධයන්ගේ රාජපාක්ෂික හැඟීම්වලට හානි පැමිණ වීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ ගේ ආණ්ඩුවේ අඥාන නිලධරයෝ වග කිව යුත්තාහ.

මුස්ලිම් ආගමික සංග්‍රමණිකයන් හා ජෙසුයිට් ක්‍රිස්තියානීන් දෙතුන් සියදෙනකු සතුටු කරවීම සඳහා 2220 වසරක් මුළුල්ලේ මේ නගරය සමඟ නොනැසී පැවතුණ ආගමික පරිසරය අවුල් කරලීම මනෝඥ නොවේ.

මත්පැන් වෙළඳ සල්, මස්කඩ හා විදේශික පල්ලි මේ ඓතිහාසික නගර සීමාවෙන් ඉවතට ගත යුතුය යනු බෞද්ධයන් ගේ ඉල්ලීම යි.

ලංකාවේ බෞද්ධ යටත් වැසියන්ට සන්තුෂ්ටියය හා තෘප්තිය ළඟා කරදෙමින් ඔබතුමා චිරාත් කාලයක් වැජඹේවා.

මම,
රජතුමනි,
අනගාරික ධර්මපාල

*****************************************

බෞද්ධ ජනවර්ගයේ අයිතිවාසිකම් වෙනුවෙන් ධර්මපාලතුමා කළ මැදිහත්වීම බ්‍රිතාන්‍ය රජු පිළිගත් බවක් නොපෙනේ. ඊට හේතුව යටත්විජිත නිලධාරීන් රජු නොමඟ යවා තිබීමයි. ‘ලංකාවේ බෞද්ධයන් ආණ්ඩුව සමඟ සුහදව සිටින බවත් අනගාරික ධර්මපාල දක්වන බිය පදනම් විරහිත වූවක් බවත්’ පිළිතුරු එවමින් රජුගේ නියෝජිත ජේ. එම්. පොන්සොන්බි කියා සිටියේය. එහෙත් දිගින් දිගටම බ්‍රිතාන්‍ය නිලධාරීහු බෞද්ධාගමට එරෙහිව බලහත්කාරකම් කිරීමේදී ධර්මපාලතුමා නිහඬව නොසිටි බව පෙනේ. නැවත නැවතත් බෞද්ධ ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් බ්‍රිතාන්‍ය රජුට ලියූ බව පෙනේ.

1903 සැප්තැම්බර් 01 වනදා රජු අමතමින් ලියූ ලිපියක මෙසේ දැක්වේ.

‘සිය වසරක බ්‍රිතාන්‍ය පාලන සමය මුළුල්ලේ සිංහලයෝ රජයට පක්ෂපාතව විසූහ. එහෙත් තමන්ගේ පූජනීය ඓතිහාසික ආගම සම්බන්ධ කටයුතුවලදී සුළු නිලධාරීන්ගේ ඇඟිලි ගැසීම් ඔවුහු නො ඉවසති. වසර 2300 තිස්සේ ඔවුන් රැක බලාගන්නා ලද්දේ ඔවුන්ගේ රජවරුන් විසිනි. දැන් ආදායම ගැන පමණක් සිතන පරිපාලකයෝ පාලනය කරති.

පරිපාලකයන් විසින් මත්පැන්, අබිං, ගංජා, හරක් මස් ආදිය ගම්වැසියන්ට සපයනු ලැබේ. අධ්‍යාපනය ගැන නොසලකා හැර තිබේ.

අනුරාධපුරයේ පෞරාණික ඓතිහාසික ස්ථාන කෙළෙසීමට භාජන කර ඇති අතර බෞද්ධයෝ එය නුරුස්සති. ඔවුනට අනුරාධපුරය මුස්ලිම්වරුනට මක්කම වැනි ය. ජපානය, චීනය, සියම ආදි රටවල සියලු ම බෞද්ධයෝ අනුරාධපුරය සිය ප්‍රධාන ආගමික ස්ථානය ලෙස සලකති. බුදු රජාණන් වහන්සේගේ ඓතිහාසික ආර්ය ආගමට අත පෙවීමට බ්‍රිතාන්‍ය සුළු නිලධාරීන්ට ඉඩ නො ලැබේවා.’

ධර්මපාලතුමාගේ මේ ඉල්ලීම් පිළිබඳ ආණ්ඩුකාරවරයා දෙපිටකාට්ටු කතා කිවූ බව වලිසිංහ හරිශ්චන්ද්‍රගේ කෘතියෙහි දැක්වේ.

1903 ඔක්තෝබර් 28 වනදා අනුරාධපුරයේදී උතුරු මධ්‍යම පළාතේ ගම්මුලාදෑනින් හා ප්‍රාදේශීය නායකයන් අමතමින් සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා මේ ඉල්ලීම් විකෘත කරමින් අනුරාධපුරයෙන් බෞද්ධ නොවන පිරිස් පන්නා දමන්ට ධර්මපාල ඉල්ලා ඇතැයි ප්‍රකාශ කළේය. ඔහුගේ කතාවෙන් උපුටා ගත් කොටසක් මෙසේය.

‘අමෙරිකාවේ සිට ධර්මපාල මහත්මයා මට එවූ ලිපියක් මා ළඟ තිබෙනවා. ඒකෙ හැටියට ඔහු මුළු අනුරාධපුරය ම ඉල්ලා හිටිනවා. කා සඳහා කියා මා දන්නේ නෑ. එහෙත් මම හිතන්නේ බෞද්ධ නොවන හැම දෙනා ම පන්නා දමන්නට එයා කැමතියි වගේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මේ වගේ දේවලට ඇහුම්කන් දෙන්නට බැහැ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව තිබෙන තුරු මේ වගේ විකට අමන යෝජනා සාර්ථක වීටම කිසිම ඉඩක් නැති බව මේවා ඉදිරිපත් කරන උගත් උදවිය හොඳින් දැනගන්නට ඕනෑ.’

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

Advertisements
This entry was posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, සර්වබලධාරී, සිංහල and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )