ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 10

ධර්මපාලතුමාට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කෙනෙහිලිකම්..!අනගාරික ධර්මපාල සිය ජාතික ව්‍යාපාරය කිසිවෙකුගේ විරෝධයකින් තොරව නිදහසේ කරගෙන ගියේ යැයි නොසිතිය යුතුය. ධර්මපාලතුමා සිය ව්‍යාපාරය මෙහෙයවූයේ ඉංග්‍රීසීන්ගේ දැඩි පරීක්ෂාව මධ්‍යයේ බව එකී ඓතිහාසික අවධිය පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

හේ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ජනයා කුපිත කරන්නෙකැයි ද, රාජ්‍ය විරෝධී මත දරන්නෙකැයි ද, විනාශකාරී පුද්ගලයකැයිද ඉංග්‍රීසි පාලකයෝ කල්පනා කළහ. ඒ නිසා අනගාරික ධර්මපාල නම් භයානක මිනිසා පිළිබඳ ඔවුන් දැක්වූයේ භීතියකි. අවස්ථාව ලද සැණින් ඔහුට දඬුවම් කිරීම බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අභිලාෂය වූයේය. ඒ සඳහා රහසිගත වාර්තා තබා ගත්හ. ඒ වාර්තාවලින් සනාථ වන්නේ ධර්මපාලතුමා කොටු කර ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව මාන බලමින් සිටි බවයි.

ධර්මපාලතුමා විසින් 1911 සැප්තැම්බර් මස 20 වැනි දින ‘සිංහල රට සිංහලයන් විසින් පාලනය කළ යුතුයි’ මැයෙන් දැඩි විවේචනාත්මක ලිපියක් ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ පළ කරන ලදී. එය ආණ්ඩුකාරවරයාගේද තියුණු අවධානයට ලක්වූ ලිපියකි. මේ ලිපිය ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර තිබුණේ යටත්විජිත භාර ලේකම් විසින්. ඒ මෙබඳු සටහනක්ද සමඟිනි.

‘ධර්මපාල මහතා අන්තවාදියෙකි. එහෙත් මා සිතන අන්දමට නොතකා හළ යුත්තෙකි.’

දිගින් දිගටම ධර්මපාලතුමා විසින් ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ලිපි ලිවීම නිසා, යටත්විජිත භාර ලේකම්වරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන මෙන් නීතිපතිවරයාට දන්වන ලදී. එහෙත් නීතිපතිවරයාගේ ප්‍රතිචාරය මෙබඳු විය.

‘මෙය රජයට විරුද්ධව පෙළඹවීමක් නොව ආගමික උමතුව පිළිබඳ වාග් මාලාවක් ලෙස මට හැඟේ. මෙය නඩුවක් පැවරීමට තරම් ප්‍රමාණවත් වන අධිකරණ ලිපියකැයි මම නොසිතමි.

නීතිපතිවරයාගේ මේ කරුණු දැක්වීම ආණ්ඩුකාරවරයාගේ සතුටට හේතුවූ බවක් නොපෙනේ. ඔහු මෙසේ ප්‍රකාශ කර තිබේ.

‘අනගාරික ධර්මපාල කවරෙක්ද? ඔහුග් යටගිය පුවත් කවරේද යන්න නීතිපති දනීද? හෙතෙම ආගමේ මුවාවෙන් රජයට විරුද්ධව පෙළඹවීමක් ඇති කරයි.’

ඔවුන්ට අවශ්‍ය වූයේ ධර්මපාලතුමා අන්තවාදියෙකු, ආගම් උමතුවෙන් පෙලෙන්නෙකු හෝ මෝඩ පුද්ගලයෙකු බව පෙන්වීමටයි. එසේම මහා බලවත් අධිරාජ්‍යයක නිලධාරීන් පවා නොතකන මේ පුද්ගලයා ඔවුන්ට පෙනී ගියේ අහංකාර, පරවශ, වංචනිකයෙකු ලෙසය. බහුතර සිංහල ජාතිකයන් දීනයන්, ගැත්තන් මෙන් ඉංග්‍රීසින් ඉදිරියේ වැඳ වැටුණද අනගාරික ධර්මපාල එසේ නොකිරීමත්, එසේ නොකරන ලෙසට ස්වදේශිකයන් පෙළඹවීමත් ඔවුන්ට මහා හිසරදයක් වූ බව පෙනේ. එහෙයින් ධර්මපාල තමන්ගේ හතුරෙකු ලෙස හඳුනාගනිමින් ඔහුට විවිධ හංවඩු ගසා කොන් කිරීමට උත්සාහ ගත් බවද කිව යුතුය.

අනගාරික ධර්මපාලතුමාගේ සියලුම ලිපි පරීක්ෂා කරමින් ඒවායේ ඇතැම් කොටස් පරිවර්තනය කරමින් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කළේ ඉන් අනතුරුවය. ඒ ඇතැම් ලිපි පරීක්ෂා කළ නීතිපතිවරයා මෙබඳු සටහනක් තබා තිබේ.

‘අපට කටයුතු කිරීමට සිදු වූයේ දේශීය මෝඩ උමතු පුද්ගලයෙකු සමඟ යයි මා සිතූ බව ම විසින් පිළිගත යුතු ව ඇත. එහෙත් ශ්‍රීමත් උතුමාණන් මට ඉදිරිපත් කරන ලෙස නියම කරන ලද ලියවිලිවලින් මේ මනුෂ්‍යයා සිතා මතා කටයුතු කරන අහංකාර පරවශ වංචනිකයෙකු බව මට පෙනේ. ඉදිරිපත් කරන ලද අවසාන උද්ධෘතය, ඔහුට විරුද්ධ නඩු පැවරීමට සුදුසු යයි අදහස් කරන්නේ නම්, නීතිය යටතට ඔහු පත් කරවයි. එසේ කළ යුතු ද යන්න රඳා පවත්නේ ඔහුගේ බලපෑම කොතරම් දුරට පවත්නේ ද යන්න මත ය. ඔහු පෙරළා පැමිණි විට ඔහු ගැන පරීක්ෂාකාරී වීම යහපත් ය. එසේම ඔහුගේ කථා හා ලියවිලි වාර්තා කොට තබා ගත යුතුය. යම් හෙයකින් ඔහු ගේ පොළඹවනසුලු ප්‍රකාශ සිතාමතා සහ ක්‍රමානුකූලව කරනු ලබන ඒවා යයි පෙනී යතොත්, එනම්, ඒවා ඕනෑකමින් ම අප්‍රසාදය වැපිරවීමේ තත්ත්වයෙන් පවත්නේ නම්, චෝදනා මාලාවක් ම එකවර ඉදිරිපත් කරනු ලැබුව හොත් එක් ප්‍රකාශනයක් මත නඩු පැවරීම වඩා ඵලදායක වනු ඇතැයි මම සිතමි.’

අනගාරික ධර්මපාලතුමාගේ රාජ්‍ය විරෝධී ස්ථාවරය සහිත ලිපි පළ කිරීම නිසා 1914 දී ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ප්‍රකාශක හා මුද්‍රණකරු වූ ඩී. ආර්. ගුණසේකර මහතා බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත් කරන ලදී. ධර්මපාලතුමාට එරෙහිවද නඩු පැවරීමට රජය කටයුතු කරමින් සිටියද සහේතුක සාක්ෂි නොලැබිණ. එහෙත් 1915 බෞද්ධ මුස්ලිම් කෝලාහල අවස්ථාවේදී ධර්මපාලතුමා කොටු කර ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට අවස්ථාව ලැබිණ. ලංකා රජයේ ඉල්ලීම අනුව ඉන්දීය පොලිසිය විසින් එතුමාගේ කල්කටා නිවාසය පරීක්ෂා කරන ලදී. එහිදී සොයා ගත් ලිපි ලේඛන රාජ්‍ය විරෝධී බවත්, ඔහුට දඬුවම් කළ යුතු බවත් පාලකයෝ තීරණය කළහ.

බෙංගාල ආණ්ඩුවෙන් ලංකාවේ යටත්විජිත ලේකම් වෙත එවන ලද වාර්තාවේ මෙසේද දක්වා තිබිණ.

‘දේශපාලන අතින් ධර්මපාල අහිංසකයෙක් නොවේ. ඔහු බ්‍රිතාන්‍ය විරෝධී අදහස් ඇති තරුණයන් කාර්මික අධ්‍යාපනයක් ලැබීම සඳහා ජපානයට යැවීමේ ව්‍යාපෘතියක යෝජකයාද වේ. ජපනුන්ගේ මාර්ගයෙන් ජර්මානු – ඉන්දීය පක්ෂය කටයුතු කිරීමට අදහස් කරන අතර එහිදී ධර්මපාල ලවා වැදගත් වැඩ කොටසක් කිරීමට අපේක්ෂා කරයි.’

ඒ අනුව ධර්මපාලතුමා ඉන්දීය රජය විසින් කල්කටාවේදී නිවාස අඩස්සියට පත් කරනු ලැබීය. එය එතුමාගේ බලවත් වේදනාවට හේතු වූ අතර, එයින් ඔහු අසරණ වූ බව දැනේ. ඒ බව කම්පනීය ස්වරයෙන් ලියා ඇති ලිපිවලින් පෙනේ.

‘මා තරුණ වියෙහි සිටියදී බ්‍රිතාන්‍ය නිලධාරීහු මා අවිශ්වාස නොකළහ. එහෙත් මහලු වෙමින් සිටින මා රඳවා ගනු ලැබීමත් සැක කරනු ලැබීමත් පරීක්ෂාවට ලක් කරනු ලැබීමත් මා තැතිගන්වන සුලුය. දේශපාලනික වශයෙන් නිරතුරුව පීඩාවට පත් කරනු ලැබීම නිසා මම මහලු බවට පත්ව සිටිමි. මා දැන් දුබලයෙකි. මේ වධහිංසා නිසා මගේ මරණය ඉක්මන් වනු ඇත.’

ධර්මපාලතුමාගේ මේ දුක්ගැනවිලි පිළිබඳ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සැලකිල්ලක් දැක්වූ බවක් නොපෙනේ. ඔහු පුරා වර්ෂ පහක් කල්කටාවේ නිවාස අඩස්සියේ පසුවෙමින් ජරාදුක් විඳි අතර 1922 දී නිදහස් කොට ලංකාවට එවන ලදී.

ධර්මපාලතුමා නිදහස් කළ අවස්ථාවේදී ඔහු පිළිබඳ රහස් පොලිසියේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලුඩෝවිසි විසින් යටත්විජිත භාර ලේකම්වරයාට මෙබඳු ලිපියක් ලියා තිබේ. එයින් කියැවෙන්නේ ධර්මපාලතුමාගේ ඒ වනවිට පැවති තත්ත්වයයි. ඔහු අකර්මණ්‍යව ඇති බවත්, තව දුරටත් තමන්ට අභියෝගයක් නොවන බවත් බ්‍රිතාන්‍ය රජය වටහාගත් සෙයකි.

***************************************
1925 ජූනි,
ගරු යටත් විජිත භාර ලේකම් තුමා,
කොළඹ.

මහතාණනි,

ඔබගේ 1925 ජූනි 16 වන දින ලිපියෙන් ඉල්ලා ඇති පරිදි අනගාරික ධර්මපාල පිළිබඳ සඳහනක් මේ සමඟ ගෞරව පූර්වකව ඉදිරිපත් කරමි.

අනගාරික ධර්මපාල සිංහලයෙකි. බෞද්ධයෙකි. උස අඩි 5කුත් අඟල් 9ක් පමණ ඇත. හිසකෙස් අලු පැහැතිය. කෙස්ස කොණ්ඩයක් වන පරිදි බැඳ ඇතත් ගෙල මත වැටෙන සේ පස්සට පීරා ඇත.

ඔහුගේ සමෙහි පැහැය දුඹුරුය. ඔහුගේ දකුණු කකුල මඳක් ආබාධ සහිතය. ඔහු ඇවිදින විට එය අනික් කකුලට වඩා මඳක් උස්සයි. ඔහුගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණය. එහෙත් බුදු දහම දේශනා කරන්නට පටන් ගත් පසු අනගාරික ධර්මපාල යන නම යොදා ගති. ‘අනගාරික’ යන්නේ තේරුම ‘ගිහි නො වන’ යනුයි.

– ඔහුගේ නෑයෝ –

ධර්මපාල පිටකොටුවේ පළමු වන හරස් වීදියේ පිහිටි සුප්‍රකට ගෘහභාණ්ඩ වෙළඳසලක් වන එච්. දොන් කරෝලිස් සහ පුත්‍ර සමාගම හිමිව සිටි අභාවප්‍රාප්ත දොන් කරෝලිස් මුහන්දිරම්ගේ වැඩිමහලු පුත්‍රයාය. ලංකාවේ සිටින ඔහුගේ සෙසු ඥාතීහු නම්,

(අ) දොස්තර සී. ඒ. හේවාවිතාරණ සොහොයුරා,

(ආ) එඩ්මන්ඩ් හේවාවිතාරණ, 1915 කැරැල්ල කාලයෙහි එම කැරැල්ලට සම්බන්ධව සිටීමේ හේතුවෙන් සිරභාරයට ගෙන බන්ධනාගාරගත කරනු ලැබීය. එඩ්මන්ඩ් හේවාවිතාරණ ඔහුට දුන් සමාව ලැබෙන්නට කලින් සිර දඬුවම විඳිමින් සිටිද්දීම මළේය.

(ඇ) නීල් හේවාවිතාරණ, අභාවප්‍රාප්ත එඩ්මන්ඩ් හේවාවිතාරණගේ පුත්‍රයෙකි. ධර්මපාලගේ ඥාති පුත්‍රයකු වන මොහු දොන් කරෝලිස් සහ සමාගමේ කොටස්කරුවෙකි.

(ඈ) ජේ. මුණසිංහ, නීතීඥයෙකි. තම වෘත්තියෙහි නොයෙදෙන මොහු ධර්මපාලගේ මස්සිනා කෙනෙකි. මුණසිංහට නලින් මුණසිංහ යන නමින් පුත්‍රයෙක් සිටී. ධර්මපාලගේ බෑනා කෙනෙකු වන මොහු ලංකා සිවිල් සේවයේ නිලධාරියෙකි.

1915 කැරලි සමයේ සිට ධර්මපාලගේ වැඩ කටයුතු පිළිබඳ විස්තරයක් පහත දැක්වේ.

කැරැල්ල ඇති වූ කාලයෙහි ධර්මපාල ලංකාවෙහි නොසිටියේය. එවකට ඔහු සිටියේ කල්කටාවෙහිය. එකල ඔහු කල්කටා පොලීසියේ පරීක්ෂාව යටතේ පසු විය. 1915 සිට ඉන්දියාවෙහි සිටි ඔහු 1921.12.12 වන දින හේ පෙරළා ඉන්දියාවට ගියේය. මින් පසු ඔහු ලක්දිවට නිතර නිතර පැමිණි නමුත් මෙහි වැඩි කාලයක් ඔහු ගත නොකළේය. ධර්මපාල නරක ගණයේ පෙලඹවීම් ඇති කරන්නෙකි. 1915 ජූනි මස 20 වන දින කොළඹ පොලිස් මහේස්ත්‍රාත් විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන ඡේදය යටතේ ඔහුට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරන ලදී. 1919 ජූනි 11 වන දාතමින් ඔබ විසින් දොස්තර සී. ඒ. හේවාවිතාරණ වෙත යොමු කරන ලද ලිපිය බලන්න. ඒ නමුත් මේ වරෙන්තුව හා සම්බාධක ඔබ විසින් 1919 දෙසැම්බර් 10 වන දින පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද රහස් ලිපිය මඟින් ඉවත් කර ගන්නා ලදී. ධර්මපාල ඉන්දියාවේ සිටින කාලය තුළ ඉන්දියාවේ පොලීසිය ලංකාවේ පොලීසිය සමඟ ලිපි හුවමාරුවෙහි යෙදුණේය. සිම්ලාවේ රහස් පොලීසියේ ප්‍රධානියා 1915.06.22 දරණ දාතමින් ලංකාවේ පොලිස්පතිවරයාට යොමු කළ ලිපියෙන් ධර්මපාල ඉතා සැක කටයුතු ඉතිහාසයක් ඇත්තකු බවත් අවුරුදු ගණනක සිට ඉන්දීය පොලීසිය ඔහු ගැන උනන්දුවෙන් සොයා බලන බවත් සඳහන් කොට ඇත. මේ සමඟ සිම්ලාවේ රහස් පොලීසිය විසින් ලංකාවේ පොලිස්පතිවරයාට යොමු කරන ලද වාර්තාවක පිටපතක් අමුණමි.

– ධර්මපාලගේ දේශපාලන සහ ආගමික කටයුතු –

ධර්මපාල සෑම විටම ආණ්ඩුවේ විරුද්ධවාදියෙකි. යටත්විජිත ආණ්ඩුවට විරුද්ධව කාල්පනික දුක්ගැනවිලි ඔහු ඉදිරිපත් කරයි. ඔහු කතා කරන රැස්වීම්වලදී නිතරම පාහේ ආණ්ඩුවට පහර දෙයි. නිතරම බ්‍රිතාන්‍යයනට විරුද්ධව නොහොබනා යමක් කියයි. 1924.09.14 වන දින ඔහුගේ සභාපතිත්වයෙන් පැවැත්වුණු ලංකා ජාතික සංගමයේ ප්‍රධාන රැස්වීමකදී ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් තුමා ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස තෝරා ගැනීමට විරුද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රථම ස්ථානය ගත්තේය. ඒ යෝජනාවේ පිටපතක් පහත දක්වමි.

‘ලංකාවේ හිටපු විජිතභාර ලේකම් වූත් ලංකාවේ යහපතට පටහැනි ලෙස පාලනයෙහි යෙදුණා වූත් ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් ලංකාවේ ආණ්ඩුකාර පදවිය සඳහා තෝරා ගැනීම සිංහල ජාතික සංගමයේ රැස්වීකදී මහත් අනතුරු හැඟවීමක් හා අර්බුදකාරී පියවරක් ලෙසද සලකන ලදුව එම තෝරා ගැනීමට විරෝධය දැක්වීමට සහ මේ පිළිබඳව යටත්විජිත භාර මහලේකම්වරයාට විදුලි පුවතක් යැවීමටද තීරණය කරන ලදී.’

ඔහුගේ ආගම ගැන කිව යුත්තේ ඔහු තම ආගම දේශනා කරන්නේ ඉතා කලාතුරකින් බවය. බුදු සමය දේශනා කිරීම පිළිබඳව ඔහු දරන අදහස නම් ක්‍රිස්තියානය, ඉස්ලාම් සමය වැනි සෙසු ආගම්වලට පහරදීමය.

– ලංකාවෙහි ධර්මපාලගේ අනුගාමිකයෝ –

ධර්මපාලට ලංකාවෙහි විශාල අනුගාමිකයන් පිරිසක් ඇති බවක් නොපෙනේ. මීට හේතුව බොහෝ කලක් ලංකාවෙන් බැහැරව ජනතාව අතර හැසිරීමට ඔහුට අවස්ථාවක් නොතිබීම විය හැකිය. ඔහුගේ අන්තවාදී අදහස්වලට අනුබල දීමට සිහිබුද්ධිය ඇති බොහෝ බෞද්ධයන් අකැමැති බව මට දැනගන්නට ලැබී ඇත.

– ධර්මපාලගේ වර්තමාන චාරිකාවට හේතු –

ධර්මපාලගේ වර්තමාන චාරිකාවෙහි අරමුණ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම බව දැනගන්නට ලැබී ඇත. එහෙත් මෙය විශ්වසනීය නොවන බව මගේ හැඟීමයි. මට සිතෙන හැටියට ඔහු මේ ගමනෙහි යෙදෙන්නට ඇත්තේ භයානක ඉන්දීය බොල්ෂෙවික්වාදියෙකු වූත් එච්. එම්. රෝයි හමුවීමේ අරමුණින් විය යුතුය. එහි සිටින කාලය තුළ ධර්මපාල පිළිබඳව ඉතා පරීක්ෂාකාරීවත් රැකුම් බැලුම් ඇතිවත් සිටිය යුතු යයි මම සිතමි.

එස්. එස්. ‘හකෝසාකි මාරු’ නෞකාවෙන් මාසේලස් බලා යෑමට ධර්මපාල දෙවැනි පන්තියේ ගමන් ඉඩක් වෙන් කරවා ගෙන ඇත. මේ නැව 19 වන දින යාත්‍රා කිරීමට නියමිතය. ඔහුත් ආර්. හේවාවිතාරණත් එක් ව දෙවැනි පන්තියේ ටිකට් පතක් වෙන් කරවා ගෙන ඇත.

අ. ක. එච්. ලුඩෝවිසි,
රහස් පොලීසියේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති.

***************************************
ධර්මපාලතුමා සිය තරුණ අවධියේ සිටම මනා ලෙස කාලය කළමනාකරණය කර ගනිමින් දවසේ උපරිම ප්‍රයෝජනය ගත් පුද්ගලයෙකි. එනිසාම දිනපතා විශාල කාර්ය සාධනයක යෙදෙන්නට එතුමාට හැකි විය. ඒ සඳහා සුවිසල් ජවයක්ද ඔහුගේ ශරීරයෙහි තිබූ බව පෙනේ. එහෙත් ජාතික ආගමික කාර්යයන්හිදී දුර්භෝජන දුක්ඛ සෙයියා අනුභව කරන්ට සිදුවීම නිසා ඔහුගේ සෞඛ්‍යය ක්‍රමයෙන් පිරිහී ගිය බව පෙනේ.

‘අතේ තුට්ටු දෙක නැතිව සිටිය දවස් මට මතකයි. කෑම නැතිව බඩගින්න නිවා ගැනීමට තුට්ටුවේ බුලත් විට කාලා බුලත් හප සියල්ල ගිල්ල දවස් මට මතකයි. නිදන්ට ඇඳක් නැත. අද රාත්‍රී බංකු දෙකක් එකතු කොට එහි නිදන්ට වීර්ය කරමි.’

1915 සිංහල – මුස්ලිම් කෝලාහලය නිසා නිවාස අඩස්සියට පත්වීම ධර්මපාලතුමාගේ සෞඛ්‍යයට එල්ල වූ දැඩි පහරක් විය. මේ නිවාස අඩස්සි සමය ඔහුට විවිධ රෝගාබාධ ගෙන ආවේය. ඒ බව එතුමාගේ පහත දැක්වෙන ලිපියෙන් පැහැදිලි වේ.

***************************************
කොලේජ් ස්ක්වෙයාර්,
කල්කටාව,
1917 මැයි 8

ප්‍රිය මහතාණෙනි,

1915 ජූනි මස සිට මා හුදෙකලා නිවාස අඩස්සියක පසු වන අතර කල්කටාව හැර යන්නට අවසර නැත්තෙමි.

වාතාශ්‍රය අඩු මේ නිවාසයෙහි පසු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මගේ සෞඛ්‍යය පිරිහී ඇති අතර, දැනට මම තදබල මළබද්ධය, හර්නියා, කන් නෑසීම සහ උගුරේ ආබාධයකින් පසු වන දුබලයකුව සිටිමි.

පසු ගිය සතියේ පටන් මම වෘක්කපෞරීත (renal colic) රෝගයෙන් පෙළෙමින් සිටිමි. උසස් පෙළේ වෛද්‍යවරු වන දොස්තර ඩබ්. යුනාන් (එම්. ඩී.) සහ දොස්තර නිල්රරන් සුයිකාර් මහතාත් මට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටිති.

මට මෙහි මිත්‍රයෝ නැත. නෑයෝද නැත. ගෙදර සුව පහසුවද නැත. මම බොහෝ වේදනා විඳිමි.

නිලධාරීන් විසින් මට විරුද්ධව අධික ලෙස නඩු පවරනු ලැබුවද, මේ දුෂ්කර සමයෙහි යුද්ධාධාර මුදලට රුපියල් 1,000ක් පරිත්‍යාග කිරීමෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මගේ යුතුකම ඉටුකොට ඇත්තෙමි. එසේම රුපියල් 32,000ක් වන මගේ සියලු සම්පත් යුද ඔප්පුවලත්, මහා බෝධි සමිතියේ අරමුදලෙහිත් ආයෝජනය කොට ඇත්තෙමි.

පරිසරයේ වෙනසක් අවශ්‍ය යයි වෛද්‍යවරු කියති. මා දැනට පසුවන්නා සේ තවත් මාස හතරක් කල් දුක් විඳිතොත් තවත් අවුරුද්දක් කල් වත් මා ජීවත් වෙතැයි මට සිතිය නොහැකිය. ලංකාණ්ඩුවට මගේ ජීවිතය අවසන් කිරීමට කැමැත්තක් ඇතැයි මම නොසිතමි.

මා තරුණයකු ලෙසත්, වැඩුණු මිනිසකු ලෙසත් පසුවෙද්දී මට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් නොකරන ලදී. දැන් මා මහලුය, දුබලය, රෝගීය. එහෙයින් අනවශ්‍ය ලෙස චෝදනාවලට ලක් කරනු ලබන්නේත්, මානසික වශයෙන් හිංසාවට පමුණුවනු ලබන්නේත් කුමක් නිසාද?

ලෙඩ ඇඳක සිට ලියන මේ ලිපියෙහි ඇතුළත් කරුණු ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් තුමාට දන්වනු මැනවි.

ඔබේ විශ්වාසී,
අනගාරික ධර්මපාල.

***************************************
ධර්මපාලතුමාට තරුණ කාලයේ සිට ශාරීරික ආබාධ පැවති බව පෙනේ. ඉන් එකක් නම්, ඔහුගේ දකුණු කකුලේ පැවැති ආබාධයයි. 1925 දී නිකුත් කරන ලද එතුමාගේ ගමන් බලපත්‍රයේ දකුණු පාදය කොට බව සඳහන් කර තිබේ. එය තමන්ට පැවිදි වීම සඳහා බාධකයක් වූ බවද කියා තිබේ.

‘කුඩා කාලයේ මට හැදුණු රෝගයෙන් මගේ දකුණු කකුල අවලංගු වුණ බැවින් මට මහණ වීමට නොහැකි විය. මහණ වෙන්ට මගේ හේතුව මදි.’

1922 ධර්මපාලතුමා නිවාස අඩස්සියෙන් නිදහස්ව ලංකාවට පැමිණි පසුද ඔහු පිළිබඳ සොයා බැලීමට රහස් පොලීසිය සිය නිලධාරීන් යොදවා තිබිණ. ඔහුගේ කාර්ය කටයුතු පරීක්ෂා කිරීමටත්, ලිපිලේඛන කියවා බැලීමටත්, ගමන් බිමන් හා රැස්වීම් පිළිබඳ වාර්තා තබා ගැනීමටත් නිලධාරීහු කටයුතු කළහ. එයින් ඔවුනට අවශ්‍ය වූයේ ධර්මපාලතුමාගේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කොට දැමීමයි. ඔහු නැවතත් රජයට එරෙහි වීමට අරඅඳින්නේ නම් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටයි.

පොලීසිය ධර්මපාලතුමාගේ රැස්වීම් ආවරණය කරමින් තබාගත් රහස්‍ය සටහන් කිහිපයක් මෙසේ වේ.

1). 11 වනදා සවස 3.30ට මරදාන, ඩාර්ලි පාරේ, සන්ථාගාර ශාලාවේදී පැවැත්වුණු රැස්වීමකදී අනගාරික ධර්මපාල බුදු සමය පිළිබඳ කතාවක් පැවැත්විය. කම්කරු පිරිසගෙන් බොහෝ දුරට සමන්විත විශාල පිරිසක් මේ රැස්වීමට සහභාගී විය.

යුරෝපීයයන් ‘පරසුද්දා’ යනුවෙන් හැඳින්වීම නිසා සිරකරුවකු ලෙස තමා කල්කටාවේ අවුරුදු හයක් රඳවා ගනු ලැබූ බවත්, එහිදී දිනපතා කොස්තාපල්වරුන් තිදෙනෙකු විසින් තමා මුර කරනු ලැබූ බවත් ධර්මපාල පැවසීය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලක්දිව නතුකර ගනු ලැබූ අවස්ථාවෙහි බෞද්ධයන්ගේ ආගමික අයිතිවාසිකම්වලට ගරු කරනු ලබන බවට ඒකාන්ත පොරොන්දුවක් දෙන ලදී. (මේ කාරණය පිළිබඳව මීට වඩා වැඩි යමක් ඔහු විසින් මෙහිදී පවසනු නොලැබීය.)

තමා දිවයිනට පෙරළා පැමිණියේ නැවතී තිබූ ‘සිංහල බෞද්ධයා’ පත්‍රය නැවත පටන් ගැනීමේ අදහස ඇතිව බව ධර්මපාල කීය. ඩී. බී. ජයතිලක සහ දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වාත් එසේ නොකරන ලෙස තමාට කී නමුත් තමා එය ඇරඹීමට අදිටන් කරගෙන සිටින බව සඳහන් කළේය.

මේ තවත් එබඳු රහස්‍ය වාර්තාවකි.

2). 16 වනදා සවස 5.00ට අනගාරික ධර්මපාල සන්ථාගාර ශාලාවෙහිදී බුදු සමය පිළිබඳ කතාවක් පැවැත්වීය.

තුන් සියයක් පමණ වූ පිරිස කම්කරුවන්, ලිපිකරුවන් කිහිපදෙනෙකු සහ ආනන්ද විදුහලේ ශිෂ්‍යයන් හා බෞද්ධ භික්ෂූන් දස දෙනෙකුගෙන් පමණ සමන්විත විය.

ධර්මපාල තම කතාවෙහිදී ක්‍රිස්තු ධර්මය හෙළා දකිමින් පහත දැක්වෙන වචන භාවිතා කළේය.

‘මට අවශ්‍ය වන්නේ වර්තමාන මුලු ආණ්ඩුවම බෞද්ධ ආණ්ඩුවක් වීමයි. ආණ්ඩුකාරවරයා බෞද්ධයෙකු වීම අවශ්‍යයි. යටත්විජිත ලේකම් සහ සෙසු සියලු නිලධාරීන් බෞද්ධයන් වනු දැකීම මගේ අභිප්‍රායයි…’

තමා ක්‍රිස්තු ධර්මය පිළිබඳව පත්‍රිකාවක් සකස් කර ගෙන යන බව ධර්මපාල පැවසීය. ‘ඔවුන්ගේ ධර්මය කෙබඳු එකක්දැයි මම ක්‍රිස්තු භක්තිකයනට පෙන්වා දෙමි. මා මෙවර පැමිණියේ කිසිවක් කිරීමටය. මා නැවත ‘බෞද්ධයා’ (පත්‍රය) පටන් ගන්නවා. එබ සියලු දෙනාම ඊට මට උපකාර කළ යුතුයි. භය වෙන්න එපා. අප සිංහ ජාතියේ අය බව අමතක කරන්න එපා.’

සන්ථාගාර ශාලාවෙහි පැවති රැස්වීම සවස 6.45ට අවසන් විය.

ආනන්ද කොලීජියෙහි පැවති තවත් රැස්වීමක ධර්මපාල කතා කළේය. කතාව ආරම්භ වූයේ පස්වරු 7.00ටය. එය රෑ 9.00ට අවසන් විය. මේ කතාවද කලින් කළ බඳු ම කථාවක් විය.

මේ රහස්‍ය වාර්තාවලින් අනාවරණය වන්නේ අනගාරික ධර්මපාල අධිරාජ්‍යවාදීන් කෙතරම් භීතියට පත් කළ නායකයෙකුද යන්නයි. ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කිරීම නිසා වරක් ජවහර්ලාල් නේරු ඉන්දියාවේ භයානකම පුද්ගලයා ලෙස නම් කරන ලදී. එසේම අනගාරික ධර්මපාල බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේ ප්‍රමුඛ නායකයා වීම නිසා ඔහු ශ්‍රී ලංකාවේ භයානකම පුද්ගලයා ලෙස ඉංග්‍රීසීහු සැලකූහ.

(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්‍රන්ථයෙනි)

Advertisements
This entry was posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී, සිංහල and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )