එරාවුර් හන්දියේ සිංහල අව නඩුව

සෙනෙවිරුවන්


1956 වර්ෂයේ දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමගම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජියන් බෙහෙවින් කුපිත වූහ.ඔවුන් ගේ උසිගැන්වීම් මත එවකට වාහන වලට හඳුන්වාදී තිබූ ශ්‍රී අකුරට තාර ගෑම ඇරඹුණි.මෙයට හේතු වූයේ 1945 සිට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය මගින් දියත් කළ ජාතිවාදී දේශපාලනයයි. ඔවුහු සමතුලිත නියෝජනයක් ඉල්වමින් සෝල්බරි කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළහ. පණහට පණහක් සේ සිංහල හා දෙමළ ජනතාවට නියෝජනයක් අවශ්‍ය වන බව ඉන් පැවසෙයි. සොල්බරි කොමිසම මෙය පිළි නොගත් අතර ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගිය පිරිසක් විසින් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්හ. මෙම පක්ෂය ස්ථාපනය කිරීමේදී අනුමත කෙරුණු මූලික යෝජනාවේ මෙසේ සඳහන් වෙයි.

ද්‍රවිඩයන්ට නීතියෙන්ම නිදහස හා ආත්ම ගෞරවය සහතික කිරීමේ හා සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ලීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ද්‍රවිඩ ජාතිය සඳහා ස්වයං පාලනය හා ස්වයං නිර්ණය කිරීම සහතික කරනු වස් ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසා දීමයි.’

ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස වන මෙම සංකල්පය එතැන් පටන් දිනෙන් දින වර්ධනය විය.1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. චෙල්වනායගම් ගේ කණ්ඩායම තමන්ගේ අභිලාෂය පතා ඇති කළ කෝලාහලය මහා ව්‍යසනයක ආරම්භයක් විය. මෙහිදී සිංහල ව්‍යාපාරිකයන් ගේ වෙළෙඳ ස්ථාන කඩා පුළුස්සා විනාශ කිරීම සිදු වූ අතර ජන ඝාතනද සිදු විණි. මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීම ඉතා අසීරු විය.ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ද තත්ත්වය එයින් වෙනස් නොවීය. සෙන්ගල්වාඩිය නොහොත් සෙන්කලාඩිවල කඩයක් දමා ගෙන සිටි මනිමෙල් සිල්වා නොහාත් උපාසක මහතා මේ අරගලයේදී ඝාතනය වූ සිංහලයෙකි. හැඩිදැඩි පුද්ගලයෙකු වූ ඔහු ප්‍රදේශයේ සියළු යුක්තිගරුක පුද්ගලයන්හට නිර්භීතව නයාකත්වය සැපයූ වෙකු විය. මේ තත්ත්වය තුළ කාලයක් තිස්සේ වෙළහෙළදාමේ යෙදී සිටි සිංහල ව්‍යපාරිකයන් තම ජීවිත ආරක්ෂාව පතා ගම් රටවල් බලා පැමිණියහ.

ගාල්ලේ දොඩන්දූවේ උදේරිස් සිල්වා පුලියන්දූවට පැමිණියේ 1895 වර්ෂයේ දීය. ඔහු එහි සිල්ලර කඩයක් ආරම්භ කරනලද්දේ 1895 ජූනි මස පළමුවනදාය. රෙදි පිළි සීනි පුවක් උම්බලකඩ ජාඩි තුනපහ කඩදාසි ඇතුළු බොහෝ ද්‍රව්‍යයන් වෙල හෙළඳාම් කරමින් ගම සමගද සම්බන්ධකම් පැවැත්වීය. ගාල්ලේ දොඩන්දූව එකල ප්‍රසිද්ධ නාවික වරායකි. එහි සිට ඉන්දියාව බලා යාත්‍රා කල යාත්‍රා ද්‍රෝණි නම් නෞකා මගින් ඉන්දියාවේ සිට ජාඩි කැලිකට් රට උළු මාලදිවයිනේ සිට කරවල මෙන්ම බොන්දි අළුවා ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රාශියක් ආනයනය කළහ.එසේම නැගෙනහිර පළාතෙන් දැව ලබා ගෙන දකුණට නැව් මගින් ප්‍රවාහනය කරන ලද අතර ඒ දැව භාවිතා කොට ගොඩනැගිලි තැනූ ඔවුහු නැව් තැනීම සඳහාද ජාඩි පීප්ප නිෂ්පාදනය ද කළහ.ලන්දේසීන් ගේ කාලයේදී දිවයින වටා නිදහස් වෙළෙඳාම පැවති අතර මුස්ලිම් වෙළෙඳුන්ට දමා තිබූ තහංචි හේතුවෙන් සිංහලයන් හට තම පැරණි නාවික බලය යළි ගොඩනගා ගත හැකි විය.1702 වර්ෂයේ දාතම සහිතව ලිපියක් දැනට දොඩන්දූ නාවිකයන්ගේ වත්මන් පරපුරේ සාමාජිකයෙකු වූ ගාමිණි පටුවතවිතාන මහතා ළඟ තිබේ.සේරුවාවිල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ දඹගස්ආරේ මේධංකර මහා යතිවරයාණන්වහන්සේද 1922 වර්ෂයේ දී ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කලේ දොඩන්දූ නැව් මගිනි. ඒ යන අතර මග මඩකලපුවේ නැවතී එහි මංගලාරාමයද ස්ථාපිත කළ බව කියති. පානම පත්තුව අක්කරායි පත්තුව කරවාකු පත්තුව සමන්තුරේ පත්තුව මානමුනේ පත්තුව බින්තැන්න පත්තුව එරුවිල් පත්තුව එරාවුර් පත්තුව සහ වෑගම් පත්තුව යනුවෙන් පත්තු නවයකට බෙදා තිබුණු පැරණි මඩකලපු දිස්ත්‍රික්කය තුළ සිංහල වෙළෙද ප්‍රජාවට නායකත්ව ගැනීමට හැකි වූයේ ප්‍රබල නාවික බලයකට හිමිකම් කියමින් දකුණු පළාත සමග සෘජු සම්බන්ධතා පවත්වමින් එසේම ඉතා ශක්තිමත් බැඳිමකින් කටයුතු කළ බැවිනි.

දොඩන්දූවේ සිට හම්බන්තොට වරායට ගමන්කරන දොඩන්දූවේ නැව් එහිදී ලුණු පටවා ගෙන නැගෙනහිර වෙරළට සේන්දු වෙති. එහිදී අක්කරපත්තුව කල්මුනේ කාරතිවු හරහා ත්‍රිතුණාමලයට වෙළෙඳ බඩු සපයන ඔවුහු අනතුරුව ලංකාවේ උතුරේ පේදුරුතුඩුව දක්වාම යාත්‍රා කොට අලෙවි කටයුතු කළ බව පැරණියන් පවසති. නැවතත් දකුණු දිග මුහුදු තීරය දිගේ මන්නාරම දක්වා ගොස් එහි මල්වාඩියේ පදිංචිව වෙලෙ හෙළදාමෙන් දියුණු ව සිටියහ.දොඩන්දූවේ මේ වෙළඳ පරපුරු වල මහා බල කුණු කීපයක් එකල සිටියහ. ඒ අතරින් පළමු කී උදේරිස් සිල්වා ඔහුගේ පුත්‍රයා වන එලියස් අප්පු සහ මුණුපුරා වූ අමරදාසද විය. අමරදාස මහතා අවසන් වරට කඩයක් වත්වා ගෙන ගොස් තිබුණේ කාරතිවු වලයි. 1956 වර්ෂයේ දී ඇති වූ කලකෝලාහලයේ දී මේ කඩය පුලුස්සා දමන ලදී .එසේම සිංහලයන් පිරිස ලොරියක පටවා ගෙන ඝාතනය කිරීමට ගෙන යද්දී එයින් පැනගත් තිදෙනා අතර අමරදාසද වෙයි. එහිදී පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් ඵලක් නොවුණු අතර මඩකලපුවේ පොලිස් ස්ථානාධිපති ඔහුට ලිපියකින් දන්වා එවා ඇත්තේ මෙම අපරාධයට සැකකරුවෙකු නොමැති බවයි. මේ අවනඩුව ගැන එකල අරාක්ෂක අගමැති වරයාටද දැනුම් දෙන ලද්දේ නමුත් ප්‍රතිඵලයක් අත් නොවුණි. පසුව කෝලාහලය සන්සුන්වූ පසු නැවත ආපසු ගොස් කලවංචිකුඩිහි ව්‍යාපාර ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇත. අවසාන වශයෙන් ඔවුන්ට තම ව්‍යාපාරික ස්ථාන අතහැර යන්නට සිදු වූවේ 83 වර්ෂයේ ඇති වූ කලබල වලින් පසුවයි.

ඩබ්.චාර්ලිස් සිල්වා ගාල්ලේ තල්පේ පදිංචි කරුවෙකි. ඔහු ද නාවික යාත්‍රා මගින් මඩකලපුවට සේන්දු වූවෙකි. ඒ නමසිය තිහේ දශකයේ දීය. එරාඌර් නොහොත් එරාවුර් හන්දියේ සින්න මුදලාලිගෙන් කඩයක් බදු ගත් චාර්ලිස් ද පෙර අය පරිද්දෙන්ම වෙළෙදාමෙන් දියුණු විය. මඩකලපුවට දුම්රිය මාර්ගය වැටෙන්නට පළමුව නාවික යාත්‍රා මගින් වෙළෙඳ බඩු ප්‍රවාහනය කර ගත්තද පසුව ගාල්ලේ වෙලින්ටන් බස් සමාගමේ ප්‍රවාහන රථ මගින් ඒ පහසුව සැලසීය. මේ නිසා වෙළ හෙළදාම සීඝ්‍රයෙන් දියුණු විය.     ඒ අවදියේදී සෙන්කල් අඩියේ ලුණු කඩේ ඊනා අහමදු ලෙබ්බේ කොට්ටමුනේ කානා සින්නතම්බි තැඹිලිවිල කුමාරපෙරුමාල් සින්නතම්බි වැනි මහම්මත් වෙළෙඳුන් ද ව්‍යාපාර වල නියැලී සිටියද ඔවුන් ඉතා සුහදව සිංහල වානිජයන් සමග කටයුතු කරන ලද්දේය. එසේම හේරා ඔරුවේ(එරාඌර්) පොක්කර උරුම කණ්ඩ වැනි දෙමල ව්‍යපාරිකයන්ද මේ සුහදත්වය ආරක්ෂා කෙට ගත්තේ සංස්කෘතික වශයෙන් සමාන කම් දැක්වූ බැවිනි. මේ තත්ත්වය 1956 වර්ෂයෙන් පසුව වෙනස් වූයේ යටකී ලෙස එස්.ජේ.වී.චෙල්වනායගම් විසින් ගෙන ගිය ජාතිවාදී ඇවිස්සීම් වලින් දෙමළ ජනතාව කුපිත වූ බැවිනි. මේ නිසා සිංහල දෙමළ ප්‍රජාව අතර සෙමින් විරසකයක් ගොඩ නැගුණි. මෙහි සඳහන් කළ චාර්ලිස් සිල්වා මහතා ගේ සහෝදරයා ගේ පුත්‍රයා වූ අල්විස් වල්ගම එරාවුර් හන්දියට පැමිණුනේ 1948 වසරේදීය. ඔහු සිය බාප්පා කර ගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරමින් කෝපාවෙල සහ එරාවුර් වල කඩ දෙකක්ම පවත්වාගෙන ගියේය. ඒකාලයේ සිටි හෝටලය නමින් ජනප්‍රිය සිංහල භෝජන ශාලාවක්ද තිබූ බව පැවසෙයි. ඒ ආකාරයට සිංහල කඩ දහයකට අධික සංඛ්‍යවක් නවසිය පණහ දශකය වන විට එරාවුර් හන්දියේ ශක්තිමත්ව තිබුණි. 1956 දී මනිමෙල් සිල්වාට වෙඩි තබා ඝාතනය කළ පසු සුපුරුදු පරිදි නැවතත් මේ වෙළෙන්දෝ සිය ව්‍යපාර ආරම්භ කළද අසූව දශකය වන විට චෙල්වනායගම් ගේ දෙවන පරපුරෙන් බිහිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය විය. නැගෙනහිර පළාත තුළ කරුණා අම්මාන් ගේ ප්‍රධානත්වයෙන් මේ කොටි බල මුළු ගැන්විණ.

1985 වසරේ දී කොටි ත්‍රස්වාදීන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කළ මනුෂ්‍යඝාතනය මුළු ලංකාවම සසල කරවන්නක් විය. එයට සමගාමීව එරාවුර් සහ මඩකලපු ප්‍රදේශ වලද ත්‍රස්ත ක්‍රියා වර්ධනය විය. චාර්ලිස් සිල්වා ගේ බෑනා වූ අල්විස් වල්ගම මහතාගේ කෝපාවෙල කඩය එහිදී ගිනිබත් කෙරුණු අතර එහි තිබූ ඔප්පු තිරප්පු සහ වෙනත් වටිනා ලියකියවිල රැසක් අතුරුදහන් වූ බව පැවසෙයි.මේ අවදියේ දී අල්විස් වල්ගම මහතා එරාවුර් සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රධානියා විය. වෙළෙඳ පළ කඩ අතරින් පණස් දෙදෙනෙකු සිංහලයන් විය. නමුත් 1987 දී මේ නැගෙනහිර සිංහලයන්ගේ කලදසාව නරක අතට හැරුණි. කරුණා අම්මාන් ගේ මූලිකත්වයෙන් මෙහි සැඟවී සිටි ත්‍රස්තයන් වරින් වර ප්‍රහාර එල්ලකළහ. හිටිහැටියේ දිනක් සිංහලයන් සියළු දෙන එරාවුර් පොලිස් ස්ථානයට කැඳවන ලදහ. ඊට හේතුව පොලසියට පහරදීමේ තැතක් අනාවරණය වීම නිසාය. සමහරු සිය කඩ සාප්පු වසා නොදමාම පොලීසියට ගිය බව පැවසෙයි. කොසේ වෙතත් 1987 ඔක්තෝබර් මස 6 වන දින වන විට සිංහලයන් 1200 පමණ පිරිසක් පොලිසියට රොක් වී සිටියහ.නමුත් කොටි ත්‍රස්තයන් කලේ සියළු වෙලෙඳ ව්‍යාපාර ගිනිබත් කිරීමයි. අනතුරුව එරාවුර් සිංහල විදුහලේ රාත්‍රිය ගතකළ මේ වෙළෙන්දන්ට අනාථයන් ලෙසට ගම් රටවලට පැමිණීමට සිදු විය.මේ වන විට නව වෙළෙඳ පලේ කඩ හැත්තෑ දෙකෙන් පණස් දෙකක් තුළම සිංහලයන් ගේ වෙළෙඳ ව්‍යාපාර විය. එම නව වෙළෙඳ පල තනා වෙලෙඳ මහතුන් තොරා ගන්නා විට එය නිසි පරිදි වූයේ දැයි පාර්ලිමේනතුවේ දී ප්‍රශ්ණ කරනු ලැබිණි. එවකට විපක්ෂයේ සිටි පාරලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් ජයකොඩි මහතා එම ප්‍රශ්ණය නගන ලද්දේ මෙසේය.

1/ එරාවුර් සුළු නගර සභාවට අයත්ව තිබී දැනට කඩ දමා ඇති ගොඩ නැගිල්ලේ වෙළෙඳ ව්‍යාපාර කරන අයගේ නම් සහ ලිපිනයන් එතුමා ඉදිරිපත් කරනවාද

2/ එම අයගෙන් කොපමණ සංඛ්‍යාවකට අලුතින් .තනන ලද වෙළෙඳ සැලේ කඩ කාමර ලබා දී තිබේද

3/ කඩ කාමර ලබා නොදී ඇති අයගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරනවාද

4/ එම අයට කඩ කාමර ලබා දීමට එතුමා කටයුතු කරනවාද

5/ නොඑසේනම් ඒ මන්ද‍

මේ ප්‍රශ්ණය යොමු කරන ලද්දේ අගමැති පළාත්පාලන නිවාස ඉදිකිරීම් ඇමති සහ මහජන පරිපාලන අමාත්‍ය වර යන තුන්පළගෙනි. එදා අද වගේ නොව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසූ කල්හි නිවරදි පිලිතුරු ලැබුණි. පළාත් පාලන ඇමති වින්සන්ට් පෙරේරා මහාතා මේ ප්‍රශ්ණයන්ට දුන් පිළිතුරු අතර සිංහල වෙළෙඳ මහතුන් ගේ නම් පණස් දෙකක් සහ මුස්ලිම් වෙලෙඳ මහතුන් ගේ නම් දහනවයක් සහ එක් දෙමල ව්‍යාපාරකයෙකු ගේ නමක් සටහන්ව තිබුණි . මෙම වාර්තාව 1987 මැයි අට වන දින හැන්සාඩ් වාර්තාවේ පළව තිබේ.

කෙසේ වෙතත් 1987 ඔක්තෝබර මාසයෙන් පසුව මේ සිංහලයන්ට උන්හිටි තැන් නැති විය. ඊට එක් හේතුවක් වූවේ 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමයි. එහිදී දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම් ලෙසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පිළිගනු ලැබ අතර කිසිවෙකුත් නැවත සිංහලයන්ට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා ඇති නොකළහ. නමුත් 2005 දී කොටි පරාජය කිරීමෙන් පසුව නැවත ආපිට ගිය සිංහලයන් මේ ස්ථානයන් නැවත අත්පත් කරගෙන පදිංචි වීමට උත්සාහ කළහ . එසේම පුනරුත්ථාපන අධිකාරියෙන් වන්දි ලබා ගෙන සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. එහෙත් එවක වන විට එහි බලවත් ව සිටි මුස්ලිම් භක්තික ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් ඊට ඉඩ නොලැබුණි. අල්විස් වල්ගම මහතා සහ අනෙක් පිරිස එහි ගොස් නව වෙළෙඳ පළ කඩ කාමර අස්පස් කරමින් සිටින විට ඔවුන් එරෙහි තහනමක් පැනවූ සභාපති වරයා ඔවුන්ට විරුද්ධව නඩුද පැවරුවේය. ඒ ප්‍රාදේශීය සභාවේ දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි කරන ලද බව දක්වමිනි. දැන් මේ නඩුව කාලයක් තිස්සේ මඩකලපු උසාවියේ දී දෙමල භාෂාවෙන් විභාග වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ඊට මැදිහත් වී සමථයකට පත් කර නොමැත. 1881 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 5012 කි. එය 1891 වන විට 6403 දක්වා වර්ධනය ව තිබුණි. 1946 ජන සංගණනයේ දී හෙළිදරව් වූයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය එකොලොස් දහස ඉක්මවා තිබූ බවයි.ඒ දෙමල ජනගහනය ලක්ෂයක් ඉක්මවා යන අවස්ථාවකය. එහෙත් ඒ දෙමල ජනගහනයෙන් අඩක් පමණ වැදි ජනතාව විය.ජාතිවාදී කලබල නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට 2289 කට පහත වැටී තිබුණි.

කලක් මහා සමුදුරු බලයක්ද ව්‍යාපාරික බලයක්ද හිමිව සිටි නිර්භීත අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසගේ ඉරණම අද මෙලෙස තීන්දු වී තිබේ. තම මුතුන් මිත්තන් විසින් වසර හාරසියයක පමණ තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන පැමිණි නිදහස අද ඔවුනට අහිමිව ඇත. කොටි ත්‍රස්තවාදය පරදාවා ජාතිය බේරා ගැනීම පිණිස දිවි කැප කළ අභීත රණවිරුවන් ගේ අභිප්‍රායට වඩා චෙල්වනායගම් පරපුරේ ඊලාම් අභලාසයද නව මුහුණුවරකින් කළ එළිදකින ඉස්ලාම් මූලධර්මවාදී අභිලාෂයද නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කර තිබේ. එයටහොඳම නිදර්ශනය පෙන්වන්නේ අල්විස් වල්ගම මහතා ඉගෙනුම ලැබූ බණ්ඩාරමුල්ල විදුහල අද මුස්ලිම් සිසුන්ගේ අරාබි විශ්වවිද්‍යාලයක් බවට පත් වීමයි. මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහා හසන් අලි යන මහත්වරුන් අද නැගෙනහිරට වෙනමම මුස්ලිම් පරිපාලන කොටසක් ඉල්වන්නේ මෙම ලිපියේ සඳහන් ජනවාර්ගික පවිත්‍රකරණය සිදු කර අවසන් වූ පසුවයි. එහෙත් ඔවුන් සඟවන එක් කාරණයක් නම් 1990 වසර වන විට සිංහලයන් මෙන්ම ඔවුන්ද කොටි ත්‍රස්තයන්ගෙන් බැටකා අනාථව සිටි බවයි.

Advertisements
This entry was posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, සිංහල and tagged , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )