ඇහැලේපොළ නාඩගම වෙතින් උගත යුතු පාඩම්

වසර දෙදහස් පන්සීයක කාලයක් සිංහල රාජ්‍ය බලය අරභයා කල සටන ඉතිහාසයේ ලියැවෙන්නේ රාජාවලියේ බල අරගලයක් ලෙසටය. මෙම බල අරගලය ඊට ආවේණික ශිල්ප ක්‍රමයන් ගෙන් සමන්විතය. සිංහල රාජ්‍යය පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් කළ මේ බල අරගලය ඇතැම් විට සතුරු පක්ෂයේ සිට කළ දෙයක් විය. ඇතැම් විට රජවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක් විය. 1815 වසරේදී මේ ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක විය. එයට හේතු ගණනාවක් තිබුණද පරාජයේ සැබෑ හේතු නිර්මාණය වන්නට පටන් ගත්තේ බොහෝ කලකට ඉහතදී බව පැහැදිලි වෙයි. මෙවැනි සටන් විග්‍රහ කිරීමට අවශ්‍ය මිනුම් දඬු කුමක් වුවද එය අප රටට ආවේණික උපායශීලීත්වය පිළිබඳව පැහැදිලි කියවීමක් වෙයි.

සපරගමුව භාරව පැමිණි ඇහැලේ පොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවතඑන එසේම සුවිශේෂී   ඥාති බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අදකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අදිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළකුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.

ලංකාවේ ගොවිතැන් කරන කන්න දෙක වන යල සහ මහ කන්න වල දී ගොවීන් සිය කාර්යයේ නිරතව සිටින අතර ඒ කාලයේදී සාමාන්‍යයෙන් මහනුවර රාජකාරි සඳහා කැඳවීම පෙර සිරිත නොවීය.ශ්‍රී වික්‍රම මෙම සම්ප්‍රදාය බිඳ දමමින් සත්කෝරල් රදළවරුන් අණවා සාමාන්‍ය ජනතාව නුවරට ගෙන්වා ගත්තේ එකල ටිඟොලේ වෙල නමින් හැදින්වූ මාළිගාව අසල තිබූ වෙල කණවා වැවක් සෑදීම පිණිසයි.මෙම නුවර වැව කැණීම මහා විහාරය අනුමත නොකලේය.එයට හේතුව රජු මල්වතු විහාරය නොහොත් පුෂ්පාරාමය එතනින් ඉවත්කර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ අදහසින් සිටි බව දැන ගත් පසුය. මේ විරෝධතා මධ්‍යයේ වැවේ කටයුතු ආරම්භ වූ අතර දිනක් ගම් වැසියකු කිතුල් ගසකින් වැටී මිය යෑමෙන් තත්ත්වය තවත් බරපතල විය.රාජකාරියට පැමිණි වැසියන් සේවය ප්‍රතික්ෂේප කලේය.එයින් කෝපයට පත් වූ රජු නඩු කැඳවා තීන්දු දෙමින් රදළ වරු සහ වැසියන් ඝාතනයට අවසර දුන්නේය.ඉන්පසු ඔවුන් සැම බෝගම්බර වැව වටේ උල හිඳවූ අතර ඇතැමෙක්ගේ හිස ගසා දැමිණි.

ටිඟුලේ වෙල කණවා කිරි මුහුද කිර්මාණය කිරීමට 1812 දී කන්නසාමි කළ නියෝගය නොතැකූ රදළ වරු ජීවිතක්ෂයට පත් වුවද මල්වත්තේ සහ අස්ගිරියේ මහ නාහිමි වරුන්ට කළ හැකි කිසි දෙයක් නොවීය. සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් සෙන්කඩගල ශ්‍රී වර්ධන පුර නගරය ගොඩනැගීමේ දී පිහිටුවන ලද මල්වත්තේ බෝධීන් වහන්සේ සහ දාගැබ ඉවත්කර කිරි මුහුද විශාලකොට මල්වත්තේ කොටස තණ තලාවක් බවට පත් කිරීමේ වුවමනාවක් රජුට විය. එහිදී නම් මහා විහාරයට මුණවත රැකීමට නොහැකි විය.රජුගේ යෝජනාව පරාජයට පත් කර මල්වතු අංගනය බේරා ගැනීමට හැකි වූයේ මහනායක් හිමිවරුන් සූක්ෂමව කටයුතු කළ බැවිනි.මේ විරෝධයට මුල් වූ පුෂ්පාරාම විහාරයේ පරණාතල රතනපාල අනුනායක හිමියන් යම්කිසි වරදකට අස කරගැනීමට රජු සිතුවේ ඉදිරියේ දී උන්වහන්සේගෙන් පැහැදිලිවම විරෝධතා ව්‍යාපාරයක් එල්ලවන බව දත් බැවිනි. රාජාධිරාජසිංහ රජුගේ රාජගුරු වූ මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන් ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ පරණාතල හිමි මොරතොට හිමියන් සෙවනේ භික්ෂු ශීලය වැඩූවෙන් ධර්මස්කන්ධය ගැන පමණක් නොව ගුප්ත විද්‍යාවන් කෙරෙහිද හසල දැනුමක් ඇති සුපේශල ශික්ෂාකාමී හිමි නමක් විය. පරණාතල අනුනාහිමියන් රාජ උදහසට ලක් වූයේ මෙලෙසයි.

රජු මල්වත්තේ මැද පන්සලට තරුණියක් පිටත්කර හරින ලද්දේය. ඒ සමගම රජුට හිතැති බමුණෙකුද පරණාතල හිමි අභිමුවට පිටත් කල බව පැවසේ. මල්වත්තේ විහාරයට පැමිණි බමුණා පරණාතල හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය. පරණාතල හිමියන් පැන් ගෙන එන්නට පහළ ළිඳට ගිය අතරතුර පරණාතල හිමියන්ගේ කුටියෙන් මෑත්ව යන තරුණිය බමුණාට දකින්ට ලැබුණි. පරණාතල හිමියන්ගෙන් පැන් පවස නිවා ගත් බමුණා රජුට මේ කාරණය දැන්වීය. පසුදා උදෑසන කටුබුල්ලේ නිලමේලා කීප දෙනෙකු පන්සලට පැමිණියහ. පරණාතල හිමිට විරුද්ධව මහ නඩුව කැඳවා ඇති ව දැන ගත් භික්ෂූන් වහන්සේලා වහාම උන්වහන්සේ වටකරගත්හ. තත්කාලය බැලූ පරණාතල හිමි සිය ගෝල නම වන දුනුමාලේ ශීලවංශ හිමි කැඳවා මෙය තමාගේ අවසාන ගමන විය හැකි වන බව පෙනෙන්නට තිබෙන හෙයින් කාරණා කාරණා බලාගෙන ඉවසිල්ලෙන් සිටිය යුතු බව පවසා ඇත. මහ නඩුවේදී බමුණාගේ සාක්ෂි ද විමසා පරණාතල හිමි විනය කඩ කරන ලදැයි රජු කළ නිගමනයට අනුව හිස ගසා මරා දැමීමට අණ කෙරිණි. මෙහිදී මෙම තීරණයට විරුද්ධව ප්‍රකාශයක් කළ මල්වත්තේ මහ නාහිමියන් විනය නීතිරීති කඩ කරල ලද අවස්ථාවක් නම් ඒ බැව් විනිශ්චය කළ යුත්තේ සංඝසභාව වුවද මරා දැමීමට අණ කිරීම බෞද්ධවිනය නීති වලට එකඟ නොවන්නේ යැයි පවසා සිටියේය. නමුත් උන්වහන්සේ ගේ උපදෙස් පිළි නොගත් රජු පරණාතල හිමියන් වධකයන්ට භාර දිය යුතු බවට නියෝග කලේය.

මල්වත්තේ මහ නාහිමියන් වචනයකදු ඉන්පසු කතා කලේ නැත. උන්වහන්සේ ගේ හිස පහතට නැමුණි. බොඳ වුණු ඇස් දෙකින් කඳුළු කැටයක් රූරා ගිය බව දුටුවේ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙකු පමණකි. පරණාතල හිමියන් ඉතා වේගවත්ව සිය කටහඩ අවදිකලේ මේ අවස්ථාවේ දීය. නැත මහරජානෙනි ඔබට ගිහියන් පිළිබඳව නඩු විසඳන්නට හැකිය. මම භික්ෂුත්වයට පත් බුද්ධ පුත්‍රයෙක්මි. මගේ නඩුව නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. කන්නසාමි මොහාතක් කල්පනා කලේය. පසුගිය වර්ෂ කීපය තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවූ බව ඔහු මෙනෙහි කරන්නට ඇත.ඔහු ඉදිරියේ සිටි බලවේග වලට නායකත්වය දෙන ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල හිමියන්ය.මේ වන විට පිළිමතලව්වේ ඝාතනය කර අවසන් කොට තිබුණි. පරණාතල හිමියන්ද ඝාතනය කිරීමටගත් තීරණය වෙනස් නොකිරීමට රජු තීරණය කලේය. වධක ස්ථානයට ගෙනයන අතර මග නාථ දේවාලය කරාද පරණාතල හිමියන් ගෙන යා යුතු බවට ඔහු නියෝග කලේය.

නාථ දේවාල භූමියඉදිරියට සැපත් වූ පරණාතල හිමියන් එහි දිග්ගෙය පියමන් කර එළිපත්ත ඉදිරියට පැමිණ අත්දෙක ඔසවා මෙසේ හඬ නැගීය. දෙයියේ සාක්කි දෙයියෝ සාක්කි නාථ දෙවියනි දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්‍රහ දානය කරමින් සෑම තැනකදීම නරපතියෙකු සිහිපත් කල යුතු වන්නේ සත්‍ය යයි. චිරාත් කාලයක් තිස්සේ පැරණි රජ වරුන් ඒ සත්‍යය අනුගමනය කෙළෙහිය. ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වූ වීරෝධාර රණ විරුවන් මෙන්ම මවුබිමේ ජාති පුත්‍රයන් ඝාතනය කරද්දී මේ සම්ප්‍රදාය වැනසුණු බව ඔබ නුදුටුවෙහිද. බීමතින් වැටුණු රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහිද. එහෙව් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින්නේ යයි ඔබ වහන්සේ සිතන්නෙහිද. මේ ප්‍රකාශයෙන් පසු පරණාතල අනු නාහිමියන් සිය සිවුරු කඩ නාථ දේවලයේ එළිපත්ත අභිමුව එලා පූජා කොට අවසන් වරට දළදා මන්දිරය දෙස බලා කුමාර හපුව වධක ස්ථානය බලා පිය මැන්නේය. ඒ සේ නික්මෙන්නට කලියෙන් කිවු මේ වස් කවිය නිසාවෙන් රටට ශපයක් වූ ඒකාධිපතියෙකු ගේ සමුගැන්ම සිදු විණැයි පවසති.

සමත මතඟා කුල මතඟා – තුරිත තුරඟා සිත දජ      තුඟා

දරිත දරඟා කුල සිරි රඟා – මහිම හිමඟා මහ වාළුක ගඟා

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අදිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණුඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය. මේ ගිවිසුම අසාර්ථක වූවායින් පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තු සාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.

මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය. මීගස්තැන්නේ අදිකාරමත් මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත් මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන් උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රොහීනට දඬුවම් ලබා දුන්නේය.

ඇහැලේපොළ මහ අදිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අදිකාම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත් වෙනත් ලිපයක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසින. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය. කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.

වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.

ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.

ඩොයිල් අවසාන වශයෙන් තම අභමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. එයද 1817 දී ඇරඹි ජාති විමුක්ති අරගලයෙන් පසු සංශෝධනය විය. අනතුරුව සියවසක් ඉක්ම ගිය පසු ලංකාවට නිදහස ලබා දීමෙන් පසු ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 29 වන වගන්තිය මගින් සිංහල බෞද්ධයන් තිබූ අයිතිය සහමුලින්ම අහෝසි කරන ලද්දේය. මේ නිසා දේශපාලන උපායශීලිත්වය පිළබඳව අප සිතා බැලිය යුත්තේ ඉතා මැදිහත් සිතිනැයි කල්පනා කළ හැකිය. යම් කිසි විදියකින් වැරදීමක් වුවහොත් පුද්ගලයන්ගේ ජීවිත පමණක් නොව ජාතියේම නිදහස ද නැතිවන බව පෙනේ. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන නැවත නැවත අත්හදා බැලීම් කරන්නේ නම් සිංහල ජාතියේ මතුඉරණම කෙසේ පවතීදැයි සැකයක් මතුවේ.

Advertisements
This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල and tagged , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )