දහම්පල් හිමිය අප විරව තංස

සෙනෙවිරුවන්

දිගු නිදහස් අරගලයකින් පසු ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජයාගෙන් නිදහස ලැබූවේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදාය. එහි ප්‍රථම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ ජවහලාල් නේරු මහතාය. එහෙත් ඉන්දියාව පූර්ණ ස්වරාජ්‍ය උදෙසා ඉතා ඉක්මනින් කටයුතු කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස බිහාර් ප්‍රාන්තයේ උපත ලද ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා පත් විය. 1948 වසරේ දී ලංකාවද නිදහස අත් කර ගත් නමුත් පූර්ණ ස්වරාජ්‍ය පිළිබඳව සංකල්පයන් රෝපණය කර ගැනිමට අවශ්‍ය සාධක ගොඩනැගුනේ ඉතා සෙමිනි.ඒ අතර රටේ ස්වභාෂාවන්ට හිමි තැන ලබා ගැනිම පිණිස සමාජය තුළ පුලුල් කතිකාවතක් දියත් විය. බණ්ඩාරනායක මහතා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ කල්හි මෙම අවශ්‍යතාවය ඉටුකරලීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති කළේය. මෙවකට ශ්‍රේෂ්ඨ පිරිවෙණ් බවට පත්ව තිබූ විද්‍යාලංකාර හා විද්‍යෙදය විශ්වවිද්‍යාල බවට පත් කිරීමටද බණ්ඩාරනායක රජය පියවර ගත්තේය. ඉන්පසු එහි මංගල උපාධි සම්මුති උත්සවය පවත්වන ලද්දේ 1959 ජූනි මස 17 වන දිනදීය.. රජයේ මූලික අදහස වන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පියවර නියම අන්දමින් ක්‍රියාත්මක කිරීම හා ලෝකයේ උසස් භාෂාවක් ලෙසට සිංහලය නගා සිටුවීම මෙම විශ්ව විද්‍යාල පිහිටුවීමේ අරමුණු අතර වන බව එවකට අධ්‍යපන ඇමති වරයාව සිටි විජයානන්ද දනායක මහාත එහිදී ප්‍රකාශ කලේය.

මෙම මංගල උපාධි සම්මුති උතසවයේ ප්‍රධාන අමුත්තා ලෙසට සාභාගි වූයේ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහාතාය. එතුමාට ආරාධනා කරමින් උපකුලපතිව සිටි කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල කථාව මෙසේය.’විද්‍යාලංකාර පිරිවෙණ 1959 ජනවාරි මස 01 දින විශ්ව විද්‍යාලයක් වශයෙන් වර්තමාන ලක් රජය මගින් සම්මත කරන ලදී. අවුරුදු දෙදහස් පන්සීයකට ප්‍රථම දඹදිවින් ලෝකය පුරා පැතිර ගිය විද්‍යාලෝකය ප්‍රඥාලෝකය හා ධර්මාලෝකය දැනට යුධභයින් වෙව්ලාගිය භේද භින්න වූ ලෝකයෙහි යළි ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව පෙරමුණ ගත යුතුය. රාහුල සාංකෘත්‍යයන ආදී කීර්තිධර භාරතීය පඬිවරුන්ගේ ගුරු භූමිය වූ මේ විද්‍යාපීඨය ථෙරවාද බුද්ධාගම පිලිබඳව අද්විතීය කේන්ද්‍රස්ථානයක්ව පවතියි. එබැවින් භාරත ලංකා දෙරට අතර පවත්නා චිරන්තන සම්බන්ධය තහවුරු වීමටත් මේ විද්‍යාපීඨය හා භාරතීය පඬිවරුන් අතර පවත්නා සම්බන්ධය දැඩිකරලීමටත් රාෂ්ට්‍රපති තුමා ගේ පැමිණීම විශේෂ හේතුවක් වනු ඒකාන්තය.’

මෙහිදී ඉන්දිය ජනාධිපතිවරයා දැක්වූ අදහස්ද මෙලෙස සටහන් කරගැබිම ඉතාවැදගත්ය. ‘සාගරයෙන් ඔබ්බෙහි පිහිටි ඉන්දියාවේ වැසියන් වන අපි විද්‍යාලංකාර විශ්ව විදයාලයෙන් කෙරෙන වැඩත් එහි වර්ධනයත් ගැන දැඩි සැලකිල්ල යොමු කරන්නෙමු. හින්දු ධර්මය සහ බුද්ධාගම එකිනෙකට අසම්බන්ධයයි හෝ ප්‍රතිවිරුද්ධ යයි හෝ අප නොසලකන බැවින් අපේ මේ උනන්දුව සැබවින්ම අවංක එකකි. බුද්ධාගම පිලිබඳ මහජන ප්‍රබෝධයක් මෑත කාලය තුල ඉන්දියාව පුරා ඇති විය. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් 2500 යේ ජයන්ති මහෝත්සවය කෙරෙහි දැක්වුණු උද්‍යෙගයත් පැරණි නාලාන්දාව පිහිටි තැන බෞද්ධ ශාස්ත්‍රයතන පිහිටුවීමෙනුත් විවිධ විශ්ව විද්‍යාලයන් බුද්ධාගම කෙරෙහි දක්වන උනන්දුවෙනුත් ඒ බව පැහැදිලි වේ.බුද්ධාගම හැදෑරිය හැකි අගනා විශ්වවිද්‍යාලයන් ඉන්දියාවේ ඇතද ඉන්දීය ශිෂ්‍යයන් විද්‍යාලංකාරයට පැමිණ මේ විශ්ව විද්‍යාලයේ ජීවය උරාගන්නවා පමණක් නොව ලංකාවේ ශිෂ්‍යයන්ද භාරතීය මධ්‍යස්ථානයන්හි සිපසතර හදාරනු දැකීමට කැමැත්තෙමි.’

බුද්ධාගම කෙරෙහි ඉන්දීය ජනාධිපතිවරා තුළ මෙවන් හැඟිමක් ඇති කරලීමට මුල් වූයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් බුද්ධගයාව බේරා ගැනීම පිණිස ආරම්භ කරන ලද නඩුව යි.                         ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1891 වර්ෂයේදී ඉන්දියාවට සැපත් ව බුද්ධගයාව වන්දනා මානයට යනවිට එහි ආධිපත්‍ය ඉසිලූ ක්‍රිෂ්ණ දයාල් ගිරි මහන්තා මහන්තා ශිව ලිංගය වන්දනා කරන්නට සපැමිණෙන හින්දු භක්තිකයින්ට රිසිසේ එම ස්ථානයේ නිදහස ලබා දී තිබුණි. මේ දර්ශන වලින් අතිශය ශෝකයට පත් ධර්මපාල තුමා කෙසේ හෝ අවසරලබා ගෙන බුදුන් වහන්සේ බුද්ධත්වයටපත්  ස්ථානයේ ශ්‍රී මහා බොධියේ ඉදිරිපිට වජ්‍රාසනය අසලට වී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඡයනා කරමින් බලවත් අධිෂ්ඨානයක් කළේය. ඉන් පසු බරණැස ඉසිපතනයට ගොස් එහි බෞද්ධ නටබුන්වල ගල් ගලවා ගෙන යන හින්දුන් ගේ නොමනා ක්‍රියාවන් නැවැත්වීමට සටන් කලේය. අනතුරුව තම මවට තැපැල් පතක් යවා මුදල් ගෙන්වා ගෙන රුපියල් 600 කට ඉසිපතනය ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන මහාබෝධි සමාගම ආරම්භ කොට සිය අධ්‍යාත්මික හා ආගමික මෙහෙයවීම් සදහා පදනමක් ඇති කළේය..

බුද්ධගයාවේ මහන්තා ට විරුද්ධව ක්‍රි.ව. 1895 දී ධර්මපාල තුමා නඩු මගට බැස්සේ වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරිව නොතිබූ බැවිනි.බුද්ධගයාවේ තැන්පත් කළ බුදු පිළිමය මහන්තා ගේ පිරිස විසින්පැහැර ගෙන යෑම නිසා නඩු මගට බැසීම ඉක්මන් විය. බෞද්ධයන් ගේ අයිතිය ප්‍රකාශ කරලීමට තිබූ එකම සිහිවටනය වූයේ බුදධගයාවේ ස්ථූපාකාර හැඩයයි. ඒ තත්ත්වය නීතිමය මාර්ගයෙන් හෙළි කරවා එතුමා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මුල් වතාවේ නඩුවෙන් ජය ලබන්නට හැකි වුවද 1906 වසරේ ප්‍රකාශයට පත් කළ ඇපැල් නඩු තීන්දුවෙන් එතුමා පරාජයට පත් විය.බුදුරදුන් විෂ්ණු ගේ නවවන අවතාරය ලෙසින් හින්දු පක්ෂයේ පිරිස එයට අවශ්‍ය කරුණු කියා පෑ නමුත් ධර්මපාල තුමාගේ නීතිඥ වරුන්ට එම තර්ක බිඳ හෙළීමට තරම් දැනුමක් නොවීය. නමුත් මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ඉල්ලීම පරිදි මහත්මා ගාන්ධි තුමා මෙයට මැදිහත්වීමට පොරොන්දු වූවද එයද ඉටු නොවීය. අනතුරුව බුද්ධගයාවේ තත්ත්වය සමනය කලේ ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිතුමා පත් කළ කොමිටියේ නිර්දේශ අනුවයි. 1949 දී බුද්ධගයා පණත මගින් මෙම ස්ථානය බෞද්ධයන් ගේ වන්දනා මාන ස්ථානයක් බවට පත් කරලීමට ඉන්දීය රජය එකඟ වූවද ඒ සඳහා පාලක කොමිටියට හින්දූන්ද ඇතුලත් විය යුතු යයි තීරණය වුණි.එහිදී වැඩි පිරිසක් හින්දු සාමාජිකයන් එයට ඇතුළත් විය. ඉන්දීය මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව හින්දූන්ට හා බෞද්ධයන්ට බාර දුන්නේ වඩා උපක්‍රමශිළි ව යයි සිතේ. නමුත් කොළම ආනන්ද විදහුලේ රැස්වුණු බෞද්ධයන් මීට විරෝධය පෑම නිසා තත්ත්වය මදක් වෙනස් විය.

වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය. වසර දහස් ගණනක් අඛණ්ඩව ගලා පැමිණි සිංහල ශිෂ්ඨාචාරය යුරෝපා ජාතීන් වෙත පවරා දෙන්නට සිංහලයා මෝඩ වීමේ විපාකය අද අප විඳිමින් සිටින්නෙමු.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවී සිටි ආසියාතික ජාතීන් දියුණුවෙහි හිණි පෙත්තට ගමන් ගනිද්දී සිංහල ජාතියේ විනාශයට මං පෙත් විවරව ඇත. 1815 වසරේ සිට දැන් වසර දෙසීයක් ඉකුත් වෙමින් තිබේ. එහෙත් විනාශයට මිස දියුණුවට යන්නට මගක් තවමත් සිංහල පාලකයන් ගේ සිතතුළ පහළව නැත. මේ පරිහානිය 1911 වැනි ඈතකාල වකවානුවකදී දුටු ප්‍රාඥයකු වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට හැකිය. ධර්මපාල චරිතාපදානය තුළ අපට දකින්නට ලැබෙන්නේ අඩ සියවසක් පමණ කාලයක් ඔහු සිංහල ජාතිය නැගිටුවන්නට ගත් උත්සාහයයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ පාණදුරාවාද කාහලනාදය මගින් ශක්තිමත් කරන ලද ජාතික බලවේගවලට මග පෙන්වූ ධර්මපාල චරිතය මැනවින් වටහා ගත්තා දැයි සැකයක් ඇති වේ. එයට හේතුව ධර්මපාල මග ගනිමින් රටේ නිදහස දින ගන්නට සටන් කොට නිදහස ලැබූ පසු ඒ සියල්ල අමතක කිරීමයි. 1948 සිට මේ වන තෙක් සිදු වූ දේශපාලන ක්‍රියාදාමය ගැන කල්පනා කරන බලන කල්හි ධර්මපාල හඬ යොදා ගෙන ඇත්තේ සිංහල ජාතිය දේශපාලන වශයෙන් රවටන්නට පමණක් දැයි කල්පනා වේ.

ධර්මපාලතුමා එදා අළුත පොහාසත් වූ සිංහල ධනවතුන් ගැන කලා කලේ මෙලෙසය.’කුරුඳු පොල් පැඟිරි මිනිරන් යන ද්‍රව්‍ය වෙළෙදාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස් කර ගෙන තිබේ. මේ ධන රැස්කර ගැනීමට පරදේශික ශාස්ත්‍රාචාරීන්ගේන් ශිල්ප ශාස්ත්‍රයන් මේ ධනවතුන් උද්ග්‍රහණය නොකොළෝයි. ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශින් ගේ බලයෙන් පොල් කුරුඳු ආදිය වැවීම කොට ඇතැම් සිංහලයෝ ධන රැස් කර ගත්තෝය.ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශාලයෙන් මිණිරන් පතල් වලින් ඇතැම් සිංහලයෝ ධනවතුන් වී සිටිති. මෙසේ රැස් කලාවූ ධනයෙන් සිංහල ධනවතුන් කරන්නේ කුමක්දැයි විභාග කටයුත්තේය. සිංහලයන්ට අයිති රටෙන් සෛංහල බලයෙන් ධන උපදවාගෙන ස්වදේශාලයෙන් ස්වජාතිය ආගම් රට වර්ධනය කිරීමට ඒ ධනය වියදම්නොකොට අපේ සිංහල ධනවතුන් පළමුකොට කරන්නේ සුද්දාගේ තොප්පිය හිසට දැමීමයි. ගෙයක්කරවා ඊට සුද්දා ගේ රටේ තිබෙන ගමක නමක් දීමයි. පුතාට හැමිල්ටන් ආර්කිලෙස් ඇලිජින්නස්ටන් ඩන්කන් ඔස්බර්ග් යන නම් රාශියක් ඒකාබද්ධ කොට සිල්වා ප්‍රනාන්දු දියස් පීරිස් ආදී පරංගි නාම නම් වලට යා කර ගැනීමයි. ධනවත් එකම සිංහලයෙක්ට ප්‍රඥාව තිබේ නම් දැන් කරන විකාර කරන්නේ නැත. ‘

පළමුවන ලෝක යුද්ධය පැවති කාලවකවානුව බැවින් එකල ලංකාවේ රබර් මිළ පහත වැටුණේය. ඉන්දියාවේ සිර අඩස්සියේ සිටි ධර්මපාලතුමා හිනිදුම මහබෝධිවත්තේ සිටි ලුවිස් කොන්දොස්තර මහතාට ලියූ ප්‍රසිද්ධ ලපියක් වෙයි.එහිදී ඔහු මෙසේ පවසා ඇත.’ නැවතත් හාල් කෝලාහලය හට ගෙණ තිබේ.ලංකාවේ සිංහලයෝ රබර් වැවීම කලා අද එයින්ද ප්‍ර යෝජනයක් නැහැ. තේ වැවීම කලා අද එයින්ද ප්‍රයෝජනයක් නැහැ.බත් කන්ට හාල් නැහැ. කුඹුරු වැපිරීම් කළොත් කන්ට ටික ලබා ගත හැකියි. නැතිනම් රබර් කා ජීවත් වන්නට වේ.’ සැබවින්ම මේප්‍රකාශය අදටත් එකසේ වලංගු නොවන්නේද. සිංහලයන් විදේශිකයන් ගේ නොයෙකුත් ව්‍යාපාර කරති. ඔවුන් අනුකරණය කොට කුඹුරු ගොඩ කර විසල් ගෙඩනැගිලි සාදා පරදේශීන්ගේ බඩු භාණ්ඩ අලෙවි කරති.කුඹුරු වතු පිටි පාලු වී යති.වැඩි කලක් ගත නොවී කන්ට හාල් නැතිවෙන බව එදා ධර්මපාලතුමා කිවූ අනාවැකිය සත්‍යය වේගෙන එයි.

සිංහලයාට අනන්‍ය වූ කර්මාන්ත හා කෘෂිකර්මය නන්වාලීමට වෑයම් කළ යුතු බව ධර්මපාලතුමා නිතර දුන් උපදේශයකි. වර්ෂ 1889 දී ඔල්කට්තුමා සමග ජපන් රටට යෑමට ධර්මපාලතුමාට හැකි විය. එහිදී බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම නිසා උගත් ධනවත් ජපන් බෞද්ධයන් ගේ ආකර්ශණය දිනා ගතහැකි විය. දේශනා තුන්සීයක් පමණ එහිදී සිදු කළ බවද වාර්තා වේ. ධර්මපාලතුමා 1902 දී නැවත වරක් ජපානය බලා ගියේය. 1904 දී කර්මාන්ත අරමුදලක් ඇති කිරීමටද එතුමා මුල් විය. ඉන්පසු ඕලන්ද ඩෙන්මාර්ක් සහ එංගලන්ත යන රටවල සංචාරය කරමින් කර්මාන්ත නරඹා අත්දැකීම් එකතු කලේය. අනතුරුව 1904 ජූලි මාසයේ දී ඉන්දියාවේ සාරානාත් හි කර්මාන්ත ශාලාවක් ඇරඹිමට ද එතුමා ක්‍රියාකලේය.ඉන්පසු ලංකාවට පැමිණ තම සහෝදරයා වූ සී.ඒ. හේවාවිතාරණ මහතාගේද සහයෝගය ඇතිව යූ.බී.දොළපිහිල්ල මහතා පේෂකර්මය හැදෑරීමටද බියන්ගොඩ බාලසූරිය මහතා ගිනි පෙට්ටි කර්මාන්තය ගැන හැදෑරීමටද වේයන්ගොඩ විජයබාහු මහතා පිඟන් කර්මාන්තය ගැන හැදෑරීමටද ශිෂ්‍යත්වයක් ලබා දී ජපානයට පිටත් කොට හැරියේය. ආපසු පැමිණි ඔවුහු ආරම්භ කළ කර්මාන්ත මගින් ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් ඇති විය. රටපුරා අත්යන්ත්‍ර පෙහෙකම්හල් නව ප්‍රවේශයකින් ඇරඹී අතර අලියා ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනයද ආරම්භ විය. ධර්මපාල තුමා පැවතෙන්නේ ව්‍යාපාරික පවුලකිනි. ධනය මත බලය රඳා පවතිනබව ඔහු දැන සිටියේය. ඔහු තමන්ගේ ධනය නොව රටේ ධනය වර්ධනය කළ හැකි මාර්ගද ඒ මගින් ස්වාධීනත්වය කර යන මාර්ගයන්ද හොඳින් අධ්‍යනය කොට එය ක්‍රියාවට නැගීය.

1913 දී සිවුවන වතාවටද එතුමා ජපානය බලා ගියේය. එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පති ඩවිබිගින් මහතා ආණ්ඩුවට සිය රහස් වාර්තා මගින් නිර්දේශ කලේ ධර්මපාලතුමා භයානක පුද්ගලයෙකු බවයි.එම නිසා කල්යල් බලා බ්‍රිතාන්‍යයන් විසින් ධර්මපාතුමා ඉන්දියාවේ දී නිවාස අඩස්සියේ තබන්නට කටයුතු කලේය.මෙයට ප්‍රධාන හේතුව ඔහු ජපානයත් සමග ගෙන ගිය ආර්ථික සහයෝගීතාවයයි. 1885 වසරේදී සිය ඩේවිඩ් හේවාවිතාරණ නාමය අතහැර ධර්මපාල නාමය ගත් තැන් සිට එතුමා එඩිතර සිංහල බෞද්ධ නායකයෙක් ලෙසට ක්‍රියාකලේය. ඔහු බොරුව රැවටීම මෙන්ම දුෂ්චරිතයද පිළිකුල් කලේය. මතපැන් බී නිකරුණේ කාලය කන්නන්හට බැණ වැදුණේය. ට්‍රාන්ස්වල් ලීඩර් පත්‍රයේ ලන්දේසි ලේඛකයෙක් දැක්වූ සටහනක් ධර්මපාලතුමා උපුටා දක්වන්නේ මෙසේය.’ සුදු මිනිසා මත් පැන් බොයි. බී ඇද වැටෙයි. ස්වදේශකයන් මතු පැන් නොබී. පිරිමැස්මෙන් නැගෙයි. කල් නොයාවා අපට එක් දෙයක් දත හැකිය. පහත් සුදු මිනිසා ස්වදේශකයන්ට මෙහෙකරයි. එය වෙනස් කිරීමට නම් ස්වදේශිකයන් මත්පැන් බී ඇද වැටිය යුතුය. ඔහුට මත්පැන් දෙනු. කල් නොයවාම ඔහු ඇදවැටී මේලේඡ්ත්වයට පත් වනු ඇත.’ධර්මපාලතුමා මේ උදාහරණ නිතර දක්වමින් තරුණයන්ට අවවාද දුන්නේය. දැනගතයුතු කරුණු පෙන්වා දුන්නේය. අවසන් කාලයේ දී පැවිදිදිවියට පත්ව 1933 අප්‍රියෙල් 29 දින නිධනප්‍රාප්ත වන තෙක්ම මේ පිළිවෙතෙහි ගැලී සිටියේය. නමුත් එතුමා ප්‍රාර්ථනාකල නව ලෝකය බිහි වුණේ නැත. ඉංග්‍රීසින් අනුකරණය කළ ලංකාවේ කලුසුද්දන් අතින් බිහිවූයේ විදේශගැති ශ්‍රී ලංකාවකි. ධර්මපාලතුමා උප්පත්තිය ලැබ වසර එකසිය පණහක් ගතවන මේ මොහොතේ එතුමා ගේ දර්ශනය ගුරුකොට ගනිත්නම් සිංහල ජාතිය තවත් කල් වැජඹෙනු නියතය.

කැලුම්කල් දියුණු කොට සිංහල   වංස – නෙලුම්පල්ලකර කළ නිසි රණ හංස

හැඟුම් උල්පතෙව් දිනුහළ බිය     සංස –         දහම්පල් හිමිය අප විරව   තංස

Advertisements
This entry was posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල and tagged , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )