බුද්ධ ශාසන පණත් මගින් සිදු වන්නේ කුමක්ද

සෙනෙවිරුවන්

වසර තිහක් පමණ කාලයක් ලංකාවේ ජනී ජනයා භීතියට පත් කළ කොටි කැරැල්ල ත‍්‍රස්තවාදයක් ලෙසට හැදින්වීම අදට කොතෙක් දුරට උචිත දැයි සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මේ සටන මගින් රට දෙකඩ කීරීමටත් බටහිරට හිතැති ක‍්‍රිස්තියානි සේවාදායක රාජ්‍යක් බිහි කිරීමටත් ඇමරිකාව එංගලන්තය ප‍්‍රමුඛ රට වලට තිබූ වුවමනාව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව මේ යුද්ධය ඉතිහාසයේ සිදුවූ සතුරු ආක‍්‍රමණ සේම ලංකාවේ ස්වාධීනත්වය නැති කරලීමට දියත් කරවූවක් බව පැහැදිවම තේරුම් ගත යුතුය.

අනුරාධපුර යුගයේ දුටු ගැමුණු එළාර යුද්ධය මෙන්ම මෙම සතුරු ආක‍්‍රමණය ද බිහිසුණු විය. මානවම්ම පළමුවැනි විජයබාහු යුග වලදී පළමුවැනි පරාක‍්‍රමබාහු දෙවැනි පරාක‍්‍රමබාහු යුග වලදී ද මෙලෙසම රට එක සේසත් වූ ආකාරය තේරුම් ගත හැකිය. දුටු ගැමුණු රජුගේ එකම පරමාර්ථය වූයේ විදෙස් සතුරා නසා ශාසනය බැබලවීමයි. පොළොන්නරු දඹදෙණි යුගවලදී කළ ශාසනික කතිකාවක් වලින් පැහැදිළිව පෙනෙන්නේ බුද්ධ ශාසනය නැන්වීම රජුගේ ප‍්‍රමුඛ කාර්යය වී තිබූ බවයි. පළමුවැනි විමලධර්ම සූරිය රජු පවා තමන්ගේ කෙටි රාජ්‍ය කාලය තුලදී උපසම්පදාව නැවත ඇති කරන්නට ගත් උත්සාහය වෙසෙසින්ම කැපී පෙනේ.

අනුරාධපුරයේ රජ කළ විශිෂ්ඨ ගණයේ නරපතියෙකු වූ පස්වන කසුප් රජුගේ පුවරු ලිපියට අනුව ඔහු කෙත් කම් සුලභ කොට සසුන් කොඩිය එසවූයේ එය තම ප‍්‍රමුඛ කාර්යය ලෙසට සැලකීමෙනි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිස ඇතුලත් මේ බුද්ධ ශාසනය නැන්වීමට පුරාණ රජ දරුවන් නොකළ දෙයක් නැත. රට එක සේසත් කළ සයවන පරාක‍්‍රමබාහු රජු උතුර ජයග‍්‍රහණයෙන් පසු එම ජයග‍්‍රහණය සිහිවීමට විජයාරාමය නම් අගනා විහාර මන්දිරයක් ද ස්ථූපයක් ද කරවූයේ සතුරු ආක‍්‍රමණිකයින්ගේ මුඛ්‍ය තම අරමුණ වූයේ බුදු සසුන විනාශ කිරීම යයි සැලකූ බැවිනි.

වත්මනෙහි සිදුවු කොටි ආක‍්‍රමණය ඉතිහාසයේ නොවූ විරූ තරම් බිහිසුණු යුද්ධයක් බවට පත් වූයේ එය ලෝකයේ පවතින නවීන අවි ආයුධ පරිහරණයේ ද උච්චතම අවස්ථාවක් වූ බැවිනි.මේ බිහිසුණු ස්වරූපය නිසාම රාජ්‍ය පාලකයන් මතවාදීව පවා බිඳ වැටී රට දෙකඩ කිරීමට ගිවිසුම් අත්සන් කළහ. නමුත් ජාතියේ වාසනා ගුණය නැවත ඉස්මතු විය .රට පුරාවට බෝධි පූජා පවත්වමින් බණ භාවනා කිරීමෙන් සත්‍යග‍්‍රහ කිරීමෙන් මේ වාසනා ගුණය ඉස්මතු වූ බව නොරහසකි. වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවට සිය ප‍්‍රයාමයන් සාර්ථක කර ගැනීමට මේ සියළු සද් කාර්යයන් ගේ පිහිටාධාරය ලැබුණු බව පිළිගත යුතුය. මේ කුරිරු යුද්ධය අවසන් වී දැන් වසර කීපයක් ගතව ඇත. පෙර රජ දරුවන් ගත් මග යමින් මේ රජයද සසුන් කොඩි ඔසවා කෙත් කම් සුලභ කරන්නේ යයි යම්බලාපොරොත්තුවක් මෙරට ජාතික බලවේග කෙරෙහි විය. දීර්ඝ කාලයක් තිස්සේ යුරෝපීය පර සතුරන්ට යටත්ව සිට ලැබූ පීඩනයෙන් නිදහස් වීමේ වුවමනාවක් ද බොහෝ පිරිසකගේ යටි සිතේ තිබෙන්නට ඇති බව නිසැකය.

යුද්ධ ජයග‍්‍රහණය සමරා පළාත් නවයේ සිහිවටන ස්ථූප නවයක් ඉදිකිරීම රජයේ පළමු පියවර ලෙස ට ඉදිරියට පැමිණීම සිංහල බෞද්ධ ජනතාවගේ සැනසිල්ලට හේතු විය. ඒ පියවර ඉතිහාසයෙන් ගත් ආදර්ශයක් විය. නමුත් මේ වන විට මෙකී වෑයම සහ වුවමනාව ක‍්‍රමයෙන් අඩපණව තිබේ. ඇතැම් ස්ථානයන්හි මේ සදහා මුල් ගල් තැබුවද ඒවායේ වැඩ නිම කරන සෙයක් පෙනෙන්නට නැත. 2011 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අරමුණු කරගත් විශාල වැඩ කොටසක් ද මේ අතර තිබෙන බව පිළිවෙතින් පෙළගැසෙමු යයි මුද්‍රණය කළ පොත් පිංචේ සදහන්ව තබුණි. ආගමික කටයුකු අමාත්‍යංශයේ නම පවා වෙනස් කොට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යන නාමය නැවත යොදන ලද්දේ ඒ අරමුණින් විය යුතුය.   නමුත් මේ සියළු යහපත් වැඩ අතරමග නැවතී තිබේ. පෙර රජ දරුවන් ගත් මග වත්මන් රජයට ක‍්‍රමයෙන් අමතකව යමින් ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව තිබෙන්නේ සර්ව ආගමික සහජීවනයයි. ඒ යටතේ 2010 වර්ශයේ පමණක් හින්දු කෝවිල් සංවර්ධනයට ලක්ෂ 181 ක් ද ක‍්‍රිස්තියානි දේවස්ථාන සංවර්ධනයට ලක්ෂ 21 ක්ද ඉස්ලාම් දේවස්ථාන සංවර්ධනයට ලක්ෂ 40 ක්ද බෞද්ධ සිදධස්ථාන සදහා ලක්ෂ 85 ක්ද ලබා දී ඇත. ඒ අතරම සියලුම ආගම් එක සමාන කොට සැලකිය යුතු යයි යන යටත් විජිත මතය නැවතත් රජයේ ආගමික ප‍්‍රතිපත්තිය බවට පත්ව තිබේ. එහෙත් අන්‍යාගමිකයන් සදහා වැඩි වරප‍්‍රසාදයක් විවෘතවම ලබා දෙන ආකාරය ඉහත කී මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීමේ ක‍්‍රමය තුළම තිබෙන බව පැහැදිලි වේ.

බුද්ධ ශාසනය නැන්වීම සදහා නීති කෙටුම්පත් පහක් ඉදිරිපත් කීරීමට සූදානම් බව බුද්ධ ශාසන ඇමති වත්මන් අගමැති වරයා පවසන අතර සර්ව ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩමුලු පවත්වමින් රටපුරා යන එන ගමනේ දී එම කෙටුම්පත් වලට එකඟතාවය ලබා ගැනීමේ උත්සාහයක්ද පවතින බව පෙනී යයි. නමුත් ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලා ඇරුණු කොට මෙම කෙටුම්පත් දැක තිබෙන්නේ සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණි. මෙම කෙටුම්පත් වලින් කීපයක් මීට කලකට ඉහත බෞද්ධ සංවිධාන විසින් සකස් කර ඇති බව දැන ගන්නට ඇත. බුද්ධ ශාසන කෙටුම්පත එයින් මූලික වෙයි. උත්තරීතර සංඝ සභා පණත ද අන්‍යගමීකරණ පණත ද එසේම වෙයි. කතිකාවත් ලියා පදිංචි කිරීමේ පණත විහාර ගම් දේවාල ගම් සංශෝධන පණත සහ බෞද්ධ අරමුදල් පණත අනෙක් පණත් අතර වෙති.

බුද්ධශාසන පණතේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් සහතික වී ඇති අරමුණ බල ගැන්වීම යයි දක්වා තිබේ. නමුත් එය විමර්ශනය කරන කල්හි එය අවසාන වශයෙන් ශාසනයේ දියුණුවට උපකාරී වන නීති කෙටුම්පතක් දැයි සැක සිතේ. පණතේ තුන්වන කොටස මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. එහි 1 ආ වගන්තිය 10 වගන්තිය 14 වගන්තිය ආදියෙන් කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා ගේ ලියාපදිංචිය කොමසාරිස් ජනරාල් ගේ බලයට යටත්වන බවයි. දහම් පාසල් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද එය එලෙස වෙයි. එම බලය ට පිටුපා ක‍්‍රියා කිරීමෙන් රුපියල් ලක්ෂයක දඩයකට යටත් වේ. කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා සකස් කල කෙටුම්පතේ වගන්ති අනුව ද කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා පිළිබද විනය නීති රීති වලට කොමසාරිස් වරයා මැදිහත් වන ආකාරයයි.

පුරාණ සම්ප‍්‍රදාය අනුව සංඝ සමාජයේ පැවැත්ම උදෙසා ශික්ෂා පද 227 කින් ද භික්ෂුනීන් වහන්සේලා සදහා ශික්ෂා පද 311 කින් ද යුක්ත සඝ විනයක් දක්වා තිබේ. එය බුදුන් වහන්සේ විසින් පනවන ලද්දකි. මහණකම නැතිවන ආපත්තීන් 04 ක් දක්වා තිබීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. භික්ෂූත්වය නැතිවන්නේ මේ පාරාජිකා ආපත්තීන් 04 ට පැමිණීමෙන් පමණකි. සෙසු ආපත්තීන්ට පැමිණි විට එයින් මිදී සකස්වන්නේ කෙසේ දැයි සඝවිනය තුළ පැහැදිලිව දක්වා තිබේ. සංඝ සමාජය තුළ ඇතිවන ඕනෑම ගැටලුවක් විසදාගත හැකි ආකාරය සඝවිනය පැහැදිලි කර ඇත. බුදුන් වහන්සේ පිරිනිවන් පැම සදහා කුසිනාරාව ට වැඩම කරවන අතර වාරයේ භෝග නගරයේ ආනන්ද චෛත්‍යයෙහි වැඩ වසන කල්හි උපදේශ හතරක් දේශනා කොට වදාළහ. එහි පළමු උපදේශය මෙලෙසය. ‘ භික්ෂූණි මේ ධර්මය ය මේ විනය ය මේ ශාස්තෘවරයාගේ ශාසනය ය. මා මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පිළිගතිමි. යයි යම් භික්ෂුවක් කියයි නම් එපමණකින්ම එම කියමන කෙරෙහි පැහැදීමක් ඇති කර ගත යුතු නැත. එමෙන්ම එය ප‍්‍රතික්ෂේප කළ යුතු ද නැත. එපමණින් ඒ ගැන පැහැදීමකට පත්නොවී ප‍්‍රතික්ෂේප ද නොකර ඒ කියන ලද පද ව්‍යඤ්න මනාකොට ඉගෙන සූත‍්‍ර හා ගැලපිය යුතුය. විනය හා සැසඳිය යුතුය. එසේ කල විට සූත‍්‍ර හා නොගැලපෙන දේ විනය හා නොසැසදෙන දේ වටහා ගත හැකිය.’

එම නිසා ධර්මය ට අනුව ජීවත් වන අතරම බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ භික්ෂු භිස්ෂුණී විනය රැකීමද සංඝ සමාජයේ වගකීමක් සම්ප‍්‍රදායක් ලෙසට සැලකූ බව පැහැදිළිය. දැනට අනුරාධපුර රත්න ප‍්‍රාසාදය අසල පිහිටා තිබෙන පස්වන කසුප් රජුගේ පුවරු ලිපියට අවධානය යොමු කිරීමෙන් පැරණි රජවරු ද මේ සම්ප‍්‍රදාය අනුව සංඝ සමාාජය කෙරෙහි නීති පණවා ඇති ආකාරය තේරුම් ගත හැකිය. මෙම පුවරු ලිපියේ තිස්වන වගන්තිය අනුව නිකායෙහි සංඝයා හිඳ විසඳා නිම විය යුතු යයි දක්වා තිබේ. සංඝයා විසින් නොනිමවන කල්හි සම්දරුවන් හා රැස්ව විචාරා නිමවා ගත යුතු යයි ද සඳහන් වේ. බි‍්‍රතාන්‍ය පාලනකාලයේ දී ශාසන සම්ප‍්‍රදාය ගැන නොදත් නිළධාරීන් රෝම ලන්දේසි නීතියට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් සකස් කළහ. පුද්ගලික දේපළ ක‍්‍රමයක් නොතිබූ ලංකාවේ විහාරාරාම පාලනය කිරීම සදහා දේපළ නීතියක් විහාරගම් දේවාලගම් පණත යනුවෙන් හඳුන්වා දුන්හ. මෙහි දීර්ඝ කාලීන ප‍්‍රතිඵලය දැනටමත් අත්විඳ තිබේ. විහාර ඉඩකඩම්වල ආරවුල් බේරා ගැනීමට භික්ෂූන් වහන්සේලාට උසාවි ගානේ රස්තියාදු වීමට සිදුව කිබෙන බව රජය නොදන්නවා නොවේ. එසේ තිබියදීත් විහාර ගම් දේවාලගම් සංශෝධන පණත යනුවෙන් නව කෙටුම් පතක් සකස් කර ඇත්තේ කුමන අභිප‍්‍රායකින් දැයි විමසා බැලිය යුතුය.

ලංකාවේ දේශපාලනය තුළ පවතින අන්‍යාගමික බලපෑම නිදහස ලැබූ වකවානුවේ සිටම දක්නට ලැබුණකි. එල්. එච් මෙත්තානන්ද මහතාගේ කතෝලික ආක‍්‍රමණය නම් ග‍්‍රන්ථයේ මේ පිළිබද අගනා විවරණයක් ඇත. පසුගිය කාලයේ කොටි ආක‍්‍රමණයට ද පදනම සපයා දී ඇත්තේ මේ අන්‍යාගමික බලවේග විසිනි. සංඝ සමාජය නීති වලින් බැඳ තබා උන් වහන්සේලාගේ ජාතික වගකීම අවසන් කළ යුතු යයි මේ බලවේග වර්තමානයේ සිතනවා නිසැකය.2008 පෙබරවාරි හිදී මීගමුවේ දේවස්ථානයක පැවති රහසිගත රුස්වීමකදී සංඝ සමාජය පිළිබද ගත් තීරණ අදිසි හස්තයක් හරහා ක‍්‍ර‍්‍රියාත්මක වීමට තැත් කරන බවට සැකයක් ඇතිවී තිබේ. විහාරස්ථාන සතු ඉඩකඩම් වසර පහක කාලයකට රජයේ සංවර්ධන වැඩ වලට යෙදවීම, අන්තර් ආගමික සාම කමිටු පිහිටුවීම ආදී යෝජනා මේ අතර තිබේ.

ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ සර්ව ආගමික සහජීවන වැඩ සටහන් කි‍්‍රයාත්මක කිරීම දැනටමත් අරඹා තිබෙන අතර ඒ සදහා සම්බුද්ධත්ව ජයන්ති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද වෙනස් කර තබුණි. පෙර රජය විසින් අනුමත කළ විසි වැදෑරුම් වැඩපිළිවෙල අවලංගු කොට මෙලෙස සර්ව ආගමික ක‍්‍රියාවලියකට සපැමිණ තිබෙන්නේ බෞද්ධ බලය අඩපණ කිරීමට බව තේරුම් ගත යුතුය. බෞද්ධ ආගමික සංවිධාන මැදිහත් වී සකස් කළ මෙහි ඇතැම් කෙටුම්පත් ඉහළ නීති දෙපාර්තමේන්තු වලදී වෙනස් කොට ඇති ආකාරය ද තුලින් තේරුම් ගත යුත්තේ සසුන් කොඩි නැන්වීමට වඩා බිම දැමීමට යම්කිසි කොටසක් උත්සාහ කරන බවයි. බුද්ධ ශාසනය පිළිබද ප‍්‍රශ්ණ විසදීමට රජය අවංකව මැදිමත් විය යුතු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එම වගකීම රජයට පවරා ඇති බැවිනි. නමුත් පවත්නා නීති මේ සඳහා යොදා ගැනීමේදී සම්ප‍්‍රදායන්ට එකගව එය ඉටු කරලීමට පරිස්සම් විය යුතුය. එසේම යම්කිසි ශාසන පරිහානියක් රටේ තිබෙන බව ද සැබැවින්ම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඒ තත්ත්වය තුළ ශාසන ශෝධනයක අවශ්‍යතාවය ද මතුව තිබේ.

යම්කිසි ආකාරයකින් උසාවියට බලය නොදී අදාල නිකායත‍්‍රයට එම බලය ලබා දෙන්නේ නම් ඉතා කල්පනාකාරීව ඒ සදහා මැදිහත් විය යුතු යයි සිතමි. එහෙත් සර්ව ආගමික මතවාදයකින් රජය පටලවා ඇති අවස්ථාවකදී එවැනි සිහි බුද්ධියක් මතු වේ දැයි සැක සහිතය. කෙසේ වෙතත් බුද්ධ ශාසන පනතේ 3 වන කොටස ලෙසින් සැලකෙන ලියා පදිංචිය බල ගැන්විය යුත්තේ අදාල නිකායේ මූලස්ථාන මගිනි. ඒ සඳහා ව්‍යවස්ථාවේ නවවන වගන්තිය බලාත්මක කිරීමට මහා සංඝ රත්නයෙන් උපදෙස් පැතිය යුතුය. වෙසෙසින්ම ලංකාව පුරා තිබෙන විහාරස්ථාන නැවත යාවත්කාලීන කිරීමට පහසුකම් සැලසීම රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප‍්‍රකාශ කරන පරිදි උතුරු පළාතේ දැනට හදුනාගෙන ඇති වැව් 1100 ආසන්නයේ පවතින විහාරස්ථාන නටබුන් රාශියක අන්‍යාගමික දේවස්ථාන ඉදිවී ඇත. මේවා ඉවත් කොට නැවත විහාරස්ථාන ඉඳිකරලීම හෝ පුරාවිද්‍යා ස්ථාන බවට පත් කිරීම රජයේ වගකීමක් ලෙසින් සැලකිය යුතුය.

ශාසන ශෝධනය කොට සසුන් කොඩි එසවීම උදෙසා පෙර රජ දරුවන් ගත් මග පූර්වාදර්ශයක් ලෙස නොගතහොත් මෙතෙක් රජයට ලැබී තිබෙන සොබා දහමේ ආශිර්වාදය ඉදිරියේදී නොලැබී යෑමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. පසුගියදා සිදුවූ ගංවතුර විපත් භූමි කම්පන මෙන්ම වත්මන් නියන් තත්ත්වයද මෙයට පෙර නිමිත්තකි. සෙනසුරු ග‍්‍රහයා හා අගහරු ග‍්‍රහයාගේ වෙනස්කම් හා ගමන සැලකිල්ලට ගෙන මේ විපත්තිය තේරුම් ගත හැකිය. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය උදා කර දී තිබුණේ මේ ග‍්‍රහ විපත් තේරුම් ගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලීම සඳහාය. එහෙත් එම අවස්ථාව ගිලිහී ගියේය. මිථ්‍යා දෘෂ්ඨීන් වැළඳ ගැනීම සහ අනුග‍්‍රහය දැක්වීම මගින් සෑම ආශිර්වාදයක්ම ශූන්‍ය විය හැකි වන බව ද ඉතා ඉක්මනින් තේරුම් ගත යුතුය.

Advertisements
This entry was posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල and tagged , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )