ජාතිවාදය, ජාතිකවාදය, ජාතිකත්වය සහ ජාතික චින්තනය

ඉහත වචන අපට නිතර දෙවේලේ ඇසෙන වචනය. ඒවායෙන් හැගවෙන දෑ අපට තේරෙන හැටියට තේරුම් කර ගැනීම මෙම ලිපිය ලිවීමේ අරමුණ වෙයි. අප දකින ආකාරයට මෙම වචන බොහෝ විට මාරුවෙන් මාරුවට එකම අරුත ඇතිව භාවිතා වන අවස්ථාද ඇත. කෙසේ වෙතත් වචන යනු යම් සංකල්පයකට දෙන නමක් නිසා ඒ ඒ වචනවලින් හැගවෙන සංකල්පයට නිශ්චිත අර්ථ දැක්වීමක් (වෙනත් වචනවලින්) දැක්වීමේ අවශ්‍යතාවයක් අපට වෙයි. මෙහි කෙළවරක් නැති නිසා අපට කොතනින් හෝ පටන් ගැනීමට සිදුවෙයි. එබැවින් අප මේ වචන ගැන කතා කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට (නැතහොත් සිංහල බෞද්ධ සංස්කෘතිය නමින් අප දකින සංස්කෘතියට සාපේක්ෂවය).

මෙරට සිටින මාක්ස්වාදීන් සහ පශ්චාත්නූතනවාදීන් යැයි කියා ගන්නා පිරිස අතර මෙබදු අදහසක් එයි. එනම් ‘ජාතිය’ යනු නූතන යුගයේ ධනවාදී ආර්ථික ක්‍රමයත් සමග බිහිවූ සංකල්පයක්ය යන්නය. ඔවුනට අනුව ‘ජාතිය’ යන අදහස අපට පැමිණ ඇත්තේ යුරෝපයෙනි.

මේ අදහස සලකා බැලීමට පෙර අප ‘ජාතිය’ නමින් හදුන්වන්නේ කුමක්ද යන ප්‍රශ්නය සලකා බැලිය යුතුය. අප ‘ජාතිය’ යන්න ඉංගිරිසියේ යන්නේ පරිවර්තනය ලෙස භාවිත කරමු. සැබැවින්ම Nation යනු ජාතියද?

සිංහල භාෂාවේ ජාතිය යන වචනය හැගවෙන්නේ ‘සිංහල ජාතිය’, ‘ඉංගිරිසි ජාතිය’ යන අර්ථයෙන්ම නොවේ. ‘එක ජාතියේ පළතුරු’, ‘එක ජාතියේ මල්’ වැනි යෙදුම් අපි භාවිත කරමු. ‘ඒ දෙන්නාම එක ජාතියේ’ කියමු. එහෙත් ඉංගිරිසියෙන් Nation of flowers වැනි කීමක් අසන්නට නැත.

සිංහලෙන් ‘ජාතිය’ යන වචනය ඉංගිරිසියේ Nation යන්නට පරිවර්තනයක් ලෙස භාවිත කළත් ඒ වචන දෙකින් එකම සංකල්පය හැගවේයැයි අප නොසිතමු. අඩුම තරමින් ජාතිය යන වචනය ඇසුන විට සිංහල මිනිසෙකු තුළ හට ගන්නා හැගීමත් Nation යන්න ඇසෙන විට ඉංගිරිසි මිනිහෙකු තුළ ඇතිවන හැගීමත් එකම නොවේ. ඉහත යෙදුම් අනුව බැලීමේදී සිංහලෙන් ‘ජාතිය’ යන වචනය භාවිතා කරනුයේ සමාන හැසිරීමක්, සමාන ස්වරූපයක් හෝ සමාන සිතුම් පැතුම් ඇති කණ්ඩායමකටය. ‘ඒ දෙන්නා එක ජාතියේ’ කියන විට හැගෙවන්නේ බාහිර ස්වරූපයකට වඩා දෙදෙනාගේ සිතුම් පැතුම්ය. හැසිරීමය. ‘සංස්කෘතිය’ය. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතියේ ජාතිය නිර්ණය කිරීමේදී සංස්කෘතියට වැදගත් තැනක් හිමිවෙයි. සිකීම් රට උපන් එස්. මහින්ද හිමි ‘ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ’ කියන විට උන් වහන්සේ සිංහලයෙක් වෙයි (උපතින් සිංහලයෙකු නොවුනත්).

අනිත් අතින් බටහිර Nation යන සංකල්පය ඊට වඩා භෞතිකයට නැඹුරු වූවක් වෙයි. බටහිර සමාජ විද්‍යාවට බටහිර ජීව විද්‍යාව මත යැපීමට සිදුවෙයි. ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව මත යැපීමට සිදු වෙයි. එනයින් බටහිර Nation නිර්ණය කිරීමේදී ‘ජානමය’ පසුබිම ඉතා වැදගත් වෙයි. හිට්ලර් තම ව්‍යාපාරය හැදින්වූයේ ‘national socialism’ නමිනි. මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකදී නිර්මාල් රංජිත් මහතා පැවසුවේ කෝට්ටේ රාජධානිය සහ නුවර රාජධානිය ගොඩනැගීමට ඉන්දියාවෙන් පැමිණි පිරිස් දායක වූ බවය. වර්තමානයේ සිංහල යැයි හදුනා ගන්නා පිරිස් සිංහල නොවන බව කීම ඔහුගේ අරමුණ විය. එවැනි අර්ථකථනයක් දිය හැක්කේ බටහිර Nation සංකල්පය උඩය. මන්ද ‘ජානමය පවිත්‍රතාව’ බටහිර Nation සංකල්පයට වැදගත් වන හෙයිනි. එහෙත් ජානමය පසුබිමට වඩා සංස්කෘතියට වැදගත් තැනක් දෙන සිංහල බෟද්ධ සංස්කෘතියට අනුව අද ඔවුන් සිංහලයන් වෙති. ඊට හේතුව රටේ අනිත් පළාත්වල සිටින සිංහලයන් හා එසේ ඉන්දියාවෙන් පැමිණි පිරිස පොදු සංස්කෘතියක කටයුතු කිරීමය. ඒ නිසා ඒ අය ‘එක ජාතියේය’.

මෙතෙක් අපට අවශ්‍ය වූයේ බටහිර Nation සහ සිංහලයන් අතර ඇති ‘ජාතිය’ සංකල්ප දෙකක් බව කීමය. බටහිර ජාතිය ජානමය පසුබිම (භෞතිකය) මත බැදී ඇති අතර සිංහල බෞද්ධයන්ගේ ජාතිය සංස්කෘතිය (සිතුම් පැතුම්, හැසිරීම රටා, භාෂාව) ආදිය මත බැදී ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්තෘතිය දැඩි ලෙස ආත්මවාදී සහ වාස්තවික යථාර්තවාදී සංස්කෘතියක් වීමත්, සිංහල බෞද්ධ සංස්කෘතිය අනාත්මවාදී සහ සාපේක්ෂතාවදී සංස්කෘතියක් වීමත් මේ වෙනසට බලපායි.

දැන් මේ සංකල්පයෙන් ( හෝ සංකල්ප දෙකෙන්) ව්‍යුත්පන්න වන අනිකුත් සංකල්ප සලකා බලමු.

ජාතිකවාදය (Nationalism) යනු ඉතා පැහැදිලිව බටහිර ජාතිය පිළිබද අර්ථකථනයෙන් ගලා එන්නකි. එනම් ජාතිකවාදය යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ බිහිවූ සංකල්පයකි. පශ්චාත් නූතනවාදීන් සහ වෙනත් අනුකාරකයින් ජාතිය පිළිබද උරුමය බටහිරට පැවරීමට සැරසෙන්නේ ජාතිකවාදය නිසාය. ජාතිකවාදය පැහැදිලිවම වාස්තවික වූ ජාතිකත්වයක් මත රදා පවතී. හිට්ලර්ට තම දේශපාලන ව්‍යාපාරය ‘ජාතික සමාජවාදයක්’ විය. ඒ තුළ ජාතිය යනු යථාර්තයකි. සැබැවින්ම පවතින්නකි. ජාතිය මූල හේතුව වෙයි. ඒ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇති ඌනතිවාදයෙන් ගලා එන්නකි. එසේම ජාතිය මිනිසුන් වෙන් කිරීමට (වියුක්තයට) යොදා ගැනෙයි. ඉංගිරිසීන්ගේ බෙදා වෙන් කර පාලනය කිරීමේ න්‍යාය මෙහිදී සිහියට එයි. එසේම ජාතිකවාදය සංස්කෘතියෙන් (අඩුම තරමින් බටහිර නොවන සංස්කෘතීන්ගෙන්) වෙන්වූ ජාතියක් වෙනුවෙන් පෙනී සිටී. වෙනත් වචනවලින් කියන්නේ නම් සිංහල ජාතිකවාදීහු සිංහල බෞද්ධ සංස්කෘතියෙන් වෙන් වූවෝ වෙති. එසේත් නැතිනම් එයින් වෙන්වීමට උත්සාහ දරන්නෝ වෙති. ඔවුහු බටහිර නූතනත්වයට විරුද්ධ නොවෙති. ඔවුන්ට අවශ්‍ය ලංකාව සිංහලයන් විසින් නායකත්වය දරන බටහිර නූනතන්ව ආකෘතියේ රාජ්‍යයක් බවට පත් කිරීමය.

අපට අවශ්‍ය ලංකාව සිංහලත්වයේ රාජ්‍යයක් බවට පත් කිරීමය. එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ රාජ්‍යයක් වනු දැකීමය. එවැනි රාජ්‍යයක් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකුට ජනාධිපතිවීමට වූව බාධාවක් තිබිය නොහැකිය. වැදගත් වන්නේ රටේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය වන්නේද නැද්ද පමණකි. උඩරට රාජධානියේ රජකමට නායක්කර් වංශිකයන් පත් වූයේ මේ පදනමිනි. (සෑම රටකම ප්‍රධාන සහ පදනම් සංස්කෘතියක් ඇත. එසේ නොවන බව කියන්නෝ එසේ නොවන රටක් පෙන්වා දිය යුතුය). සිංහලයන් ප්‍රධානත්වය දරන බටහිර නූතනත්ව රාජ්‍යයකින් අපට එතරම් පළක් නොවේ.

කෙසේ වෙතත් සිංහල බෞද්ධ සංස්කෘතියේ අර්ථ දැක්වෙන් ‘ජාතිකත්වය’ පැහැදිලිවම සම්මුතියකි. එහෙත් සසර ගමනේදී මෙන්ම නිවන් දැකීමටද සම්මුතිද අවශ්‍ය බව සිංහලයෝ දනිති. අපේ ජාතිකත්වය වෙන් කිරීමට වඩා එක් කිරීමට යොදා ගැනෙයි. අතීතයේ මෙරටට සංක්‍රමණය වූ ජනතාව සිංහල ජාතියට අවශෝෂණය කරගනු ලැබූහ. එසේම එය සිංහල බෞද්ධ සංස්කෘතිය හා බැදුණු ජාතිකත්වයකි. ඉන් වියෝ වූවක් නොවේ. ඒ හේතුව නිසාම සිංහල බෞද්ධ ජාතිකත්වය ජාතිවාදයකට හැරීමට ඇති ඉඩ අල්පය. ඊට හේතුව බුදු දහම සහ බෞද්ධ සංස්කෘතියේ එන ඉගැන්වීම්ය. කෙනෙක් උසස් හෝ පහත් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යැයි කියවෙන් සංස්කෘතියක ජාතිවාදයකට ඇති ඉඩ ඉතා අල්පය.

එහෙත් සිංහල ජාතිකත්වය සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ගැලවූ විට මේ ආරක්ෂාව නැතිවෙයි. ජාතිවාදයකට ඉඩ විවර වෙයි. අද අන්තර්ජාලයේ පිනුම් ගසන සිංහල ජාතිකවාදීහු බහුතරයක් මීට ගොදුරු වී සිටිති. ඔවුන් කළ වරද නම් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් වියුක්ත වූ යුදෙව් කිර්ස්තියානි ජාතිකත්වයක් වෙනුවෙන් පෙනී සිටීමය. වාස්තවික යථාර්තය මත පදනම් වූ ආත්මවාදී සංස්කෘතියක් ජාතිවාදයට තෝතැන්නක් වෙයි.

ජාතිවාදය යනු තම ජාතිය උසස් බවත් අන්‍ය ජාතීන් පහත් බවත් ඇදහීමය. ඒ අනුව හිතා මතා අන්‍ය ජාතීන්/ජනවර්ගයන්ට අයත් පුද්ගලයින්ට හිංසා පීඩා අසාධාරණකම් කිරීමය. එය පැහැදිලිවම බුදු දහමේ අත්තුක්කංසනයට පාරවම්භනයට අයත් වෙයි. එනයින් එය සිංහල බෞද්ධ ජාතිකත්වයටද පටහැනි වෙයි. එහෙත් සිංහල ජාතිකවාදයට එබදු ආවරණයක් නැත.

සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ඒ හා බැදුණු ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීමම අන්‍ය ජනවර්ගයන්ට සහ සංස්කෘතීන්ට කෙරෙන අසාධාරණයක් නොවේදැයි කිසිවකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අප අපේ පවුලේ උදවියට හිතවත් වෙමු. ඔවුන්ගේ හිතසුව පතමු. එසේ වූ පමණින් අසල්වැසියන්ට විණ කැටීමට අප නොසිතමු. ඇත්ත වශයෙන්ම අවංකව අසල්වැසියන්ටද යහපතක් කිරීමට හැකි වන්නේ තමන්ගේ පවුල ගැන හැගීමක් ඇති එකාටය. තම සංස්කෘතිය සහ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීම බෞද්ධ ගිහි ජීවිතයේ අංගයකි. එසේ නොකරන්නා ආත්මාර්ථකාමියකු වෙයි.

ජාතිවාදයද යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ නිර්මාණයකි. ඩාවින්ගේ ස්වභාවික වරණයට අනුව බලවතා දුබලයා යටපත් කරගෙන වර්ධනය වෙයි. බලවත් සත්ව කොට්ඨාශය දුර්වල සත්ව කොට්ඨාශය මර්ධනය කරයි. මේ තුළ යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇත. මේ චින්තනය ජාතිවාදය නිර්මාණයවීමටද හේතුවිය. හිට්ලර් නාසිවාදය නිර්මාණය කිරීමට පරිණාමවාදයේ පිහිට ලබා ගති. ඔහු බොහෝ විට යුදෙව් සංහාරය සාධාරණිකරණය කලේ බලවත් ජාතිය දුබල ජාතිය මර්ධනය කිරීම ‘ස්වභාවික’ බව කියමිනි. මෙය ඊනියා ස්වභාවික වරණයෙන් (natural selection) ගලා එන අදහසකි. ජාතිවාදය පමණක් නොව බලවතා දුබලයා යටත් කිරීම මත පදනම්වන යටත්විජිතවාදය, මාක්ස්වාදය, ධනවාදය වැනි බොහෝ බටහිර මතවාදවලට ඩාවින්ගේ පරිණාමවාදය හරහා එන යුදෙව් ක්‍රිස්තියානි චින්තනය බලපා ඇත.

සිංහල බෞද්ධ ජාතිකත්වය මොකටදැයි යමෙකු ඇසීමට ඉඩ ඇත. ඊට පිළිතුර නම් සංස්කෘතිය සහ ජාතිකත්වය අතර චක්‍රීය සම්බන්ධයක් ඇති බවය. සංස්කෘතියෙන් ජාතිකත්වය පෝෂණය වන අතර ජාතිකත්වයෙන් සංස්කෘතිය පෝෂණය වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නිවනට ආධාර වන සංස්කෘතියකි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙන් නිවනට විරුද්ධ සංස්කෘතියක් නොවේ. එබැවින් සිංහල බෞද්ධ ජාතිකත්වය නිවනට හිතැති ලෞකික සමාජයක් නිර්මාණය කර ගැනීමට අත්‍යවශ්‍ය වෙයි.

ජාතික චින්තනය යනු සිංහල බෞද්ධ ජාතිකත්වය මත පදනම් වූ චින්තනයයි. සිතීමේ රටාවයි. එය අත්‍යන්තයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය සමග බැදී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජාතික චින්තනයද ආකෘතියකි. පශ්චාත් ව්‍යුහවාදීන් කුමන බයිලා ගැසුවද මිනිසුන්ට ජීවත්වීමට ආකෘති අවශ්‍ය වෙයි (අවශ්‍ය නම් පශ්චාත් ව්‍යුහවාදයද ආකෘතියක් ලෙස සැලකිය හැකිය). මේ ආකෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂය. ඒ තුළින් අපට මෙන්ම ලෝකයට බලපාන ගැටලු විසදා ගැනීමට අවශ්‍ය දැනුම නිර්මාණය කරගත හැකි බව අප විශ්වාස කරමු. ඒ වෙනකක් නිසා නොව එය පරිසරය සහ සතා සීපාවා සමග සහජීවන‌ය ඇති කළ සංස්කෘතියක නිර්මාණය වූ ආකෘතියක් බැවිනි. එවැනි දැනුමක් නිවනට ‘පහසුකම් සපයන’ සමාජයක් නිර්මාණය කරනු ඇත්තා සේම මිනිසුන් මෙන්ම සතා සීපාවාට සහ ගහ කොළටත් හිතසුව පිණිස වනු ඇත.

සිංහල බෞද්ධ ජාතිකත්වය සහ ජාතික චින්තනය, බටහිර ජාතිකවාදය සහ එයින් පැන නගින ජාතිවාදයට අහසට පොළොව මෙන් වෙනස් සංකල්ප බව මෙයින් පැහැදිලි විය යුතුය.

This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල and tagged , , , , , , , , . Bookmark the permalink.

1 Responses to ජාතිවාදය, ජාතිකවාදය, ජාතිකත්වය සහ ජාතික චින්තනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න